BREAKING NEWS
latest

728x90

468x60

මාස එකහමාරකට පෙර රට ගිය බිරියව කුවේට් ඒජන්සියේ සිර කරගෙන ඉන්නවා

මාස එකහමාරකට පමණ පෙර කුවේට් රටට ගිය තම බිරිය එහි සිරකරගෙන සිටින බව කියමින් පියකු හා දියණියක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හලාවත කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පැතුම් මධුසංක (33) හා ඇගේ දියණිය ඉමාෂා අමන්දි (11) මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ කේ. ඒ. සුනේත්‍රා කුමාරි (32) නමැති කාන්තාව පිළිබඳව ස්ථිර තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

පසුගිය අප්‍රේල් මස 23 වැනි දින කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් මේ කාන්තාව කුවේට් රටට ගොස් ඇති අතර එදින සිට මේ දක්වා නිවැසියන්ට දුරකථන ඇමතුමක් හෝ ලැබී නොමැත.

ඒ අනුව පසුගිය මැයි මස 12 වැනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හලාවත කාර්යාලයට පැමිණ පැමිණිලි කළ අවස්ථාවේදී කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගොස් අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව එදිනම ඔවුන් කොළඹ කාර්යාංශයට ගියද පසුව දැනුම් දීමක් කරන බව පවසා ඇත. ඒ අනුව පසුගිය 30 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මේ පුද්ගලයා කැඳවා ඇතත් ඒජන්සිකරු නොපැමිණීම හේතුවෙන් පැමිණිලි විභාගය සිදුකර නොමැත. ඒ අවස්ථාවේදී පැමිණිලිකරු ඒජන්සිකරුට දුරකථනයෙන් කතා කළත් පරුෂ වචනයෙන් බැන දුරකථනය විසන්ධි කර තිබේ.

තම බිරිය කුවේට් පිහිටි ඒජන්සියේ සිරකරගෙන සිටින බව පැතුම් මධුසංක වැඩිදුරටත් පැවැසීය. තමා කුවේට් රටේ සිටින තම හිතවතකු මාර්ගයෙන් ලබාගත් වීඩියෝවක්ද මාධ්‍යට ඉදිරිපත් කළ මධුසංඛ මහතා එම ස්ථානයේ කාන්තාවන් 30 දෙනකු සිරකරගෙන සිටින බවත් ඉන් හතරදෙනකු කුරුණෑගල පිහිටි ඒජන්සියෙන් යැවූ කාන්තාවන් බවත් පැවැසීය.

හෙතෙම මීට පෙර කුවේට් හි සේවය කර තිබෙන අතර එහිදී හඳුනාගත් කුවේට් ජාතිකයකු මාර්ගයෙන් මේ වීඩියෝව හා තොරතුරු ලබාගෙන තිබේ.
විදේශගත වූවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන ඉටුකරන්නේ ඒජන්සිකරුවන් රැකීම බව පැවසූ මධුසංක මහතා ඉක්මන් විසඳුමක් ලබානොදුණහොත් හලාවත පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය අසල හෝ කුරුණෑගල ඒජන්සිය අසල මාරාන්තික උපවාසයක් පවත්වන බවද කීය.

« PREV
NEXT »

Facebook Comments APPID