BREAKING NEWS
latest

728x90

468x60

අටකාමා කතරෙන් හමුවූ පිටසක්වළ ජීවියාගේ අබිරහස හෙළි වේ.

අටකාමා යනු ලොව ඇති වියළිම ස්ථානයයි. එය ලොව තිබෙන වියළිම කාන්තාරය වශයෙන් ද හැඳින්වීමේ වරදක් නැත. 2003 වසරේදී මේ අටකාමා කාන්තාරයෙන් පිටසක්වළ ජීවියෙකුගේ මළසිරුරක් හමුවූ බව කියැවිණි. මිනිස් රූපයකට එය බොහෝ අතින් සමාන විය. අටකාමා කතරෙන් හමුවූ නිසා එයට ලබාදුන් නම වූයේ ‘අටා’ ය.

‘අටකාමා හියුමනොයිඩ්’ හෙවත් ‘අටා’ යනුවෙන් මමියකට සමාන මෙම මළසිරුර ලෝක ප්‍රකට විය.

අසාමාන්‍ය ලෙස දික්වූ හිස්කබල අටාගේ දේහයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. එහි ඇස් විවරද අසාමාන්‍ය ලෙස ඇතුළට ගිලී තිබිණි. අතිශයින්ම අසාමාන්‍ය ලෙස කුඩා ශරීරයකි, එය. එහි දිග අඟල් 6 ක් පමණක් විය. එහි ඉළ ඇට දෙකක් අතුරුදන්ව තිබුණේය. මේ සියලු ලක්ෂණ නිසා එය පිටසක්වළ ජීවියෙකුගේ මළ සිරුරක් බවට ලොව පිළිගත් විද්‍යාඥයන් පවා සැක පළ කිරීම පුදුමයට කාරණයක් නොවේ. 
‘අටා’ ඒලියන් කෙනෙකු හෙවත් පිටසක්වළ ජීවියෙකු බව දක්වන වාර්තා චිත්‍රපට පවා නිපදවන්නට පටන් ගැනුණේය.

අටා ගැන කතාව දැන් නැවත කරළියට පැමිණ තිබෙන්නේ පිටසක්වළ ජීවියෙක් බවට මෙතෙක් සැලකුණු එම අටා, සැබවින්ම විකෘති වූ ළදරුවෙකුගේ මළසිරුරක් බව හෙළිවීමත් සමග ය.

අටකාමා කතර ආශ්‍රිතව චිලී දේශය පිහිටා තිබේ. අටා හමුවූයේ අටකාමා කතරේ චිලී රාජ්‍යයට අයත් නුවරකිනි. අවසානයේ නියම වූයේ සවිස්තරාත්මක ජාන පරීක්ෂාවකට මෙම සිරුර ලක් කරන්නට ය. ස්ටැන්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය අණුක ජීව විද්‍යාඥෙයෝ 2013 වසරේදී එහි වගකීම භාරගත්හ. ඒ අනුව පසුගියදා එම ජාන පරීක්ෂාවේ ප්‍රතිඵල එළිදැක්වුණු අතර, එහිදී හෙළිවූයේ එය ‘අනුමාන කළ නොහැකි තරම් විකෘතිතාවන්ගෙන් යුක්ත’ මනුෂ්‍ය ශරීරයක් බවයි.

එපමණක් නොව, දිගින් අඟල් 6 ක් පමණක් වුවද එම ශරීරය වසර 6 ත් 8 ත් අතර දරුවෙකුගේ බව ද ඔවුහු නිගමනය කළහ.

එසේම මෙයට වසර 15කට පෙර සොයා ගැනුණ ද එම සිරුර වසර 40 ක් පමණ පැරණි බව ද නිගමනය කර තිබේ. ඒ අනුව මෙම දරුවා අසාමාන්‍ය කුරු බවක් ඇතිකරන විකෘතියකින් යුතු බව නිගමනය කෙරී ඇතත්, පර්ශු 12 ක් වෙනුවට 10 ක් පිහිටා තිබීම වැනි කරුණුවලට හේතු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුවී නැත. අටකාමා කතරේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් එම ළදරු මළ සිරුර මමිකරණයට ලක්වී ඇති බව, එනම් මමියක් වී ඇති බව ද ඒ සමගම සොයාගැනිණි.

නමුත් 2013 වසරේ දී සිදුකළ මෙම සොයාගැනීම්වලින් පසුව ද අටා ගැන අබිරහස නිමාවට පත්වූයේ නැත. තවමත් එම අබිරහසේ නොවිසඳුණු කොටස් තිබිණි. උදාහරණක් වශයෙන්, මෙම ළමා මමිය අටකාමා කාන්තාරයට පැමිණයේ කෙසේද?

මෙම නොවිසඳුණු කොටස්වලට පිළිතුරු සෙවීම භාරගත්තේ ලන්ඩනයේ හොරයිමන් කෞතුකාගාරයේ ස්වභාව විද්‍යා විශේෂඥයන් ය. ඒ අනුව මෙම මමිය ළමයකෙුගේ විය හැකි නමුත්, මෙහිදී වැඩිම සම්භාවිතාවය තිබෙන්නේ එය විකසනය නොවූ කළලයක් බවට පත්වීමට යැයි නිගමනය කෙරිණි. උදාහරණයක් ලෙසට මෙය සති 14 ත් 16 ත් අතර කාලයකදී ගබ්සාවක් හේතුවෙන් මිය ගිය දරුවෙකුගේ ඉතිරි වූ සිරුරු කොටස් විය හැකිය. එසේම මෙම ශරීරය අටකාමා කතරට ආවේ කෙසේද යන්න ගැන ද උපකල්පනයක් ඒ සමගම ඉදිරිපත් විය. ඒ අනුව කියැවුණේ අටකාමා කතරේ පිහිටා තිබෙන දෙව්මැදුරක් අසලින් මෙම විකෘති කළලය විසි කර දමා ඇති බවයි.

සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර කැලිෆෝනියා සරසවියේ පර්යේෂකයන්ට ද මෙම ළමා මමිය පර්යේෂණාත්මක වස්තුබීජයක් සැපයීය. එහි ප්‍රතිඵල සටහන ‘ගෙනෝම් රිසර්ච්’ නමැති පර්යේෂණ පත්‍රිකාව මගින් එළිදක්වන ඔවුන් කියා සිටියේ මිනිස් වර්ගයා තුළින් මෙතෙක් හඳුනා නොගත් ජාන විකෘතිතා රැසක් මෙම මිනිස් ශරීරයෙන් හමුවන බවයි. මෙම නිදර්ශකයේ ඇටමිදුළුවලින් ලබාගත් ඩීඑන්ඒ සාම්පලයක් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම හරහා අටාගේ සම්පූර්ණ ජාන සිතියම හෙවත් ගෙනෝමය ලබාගැනීමට එම විද්‍යාඥයන්ට හැකි විය.

මෙසේ ලෝකයේ ප්‍රකට සරසවි තුනක පර්යේෂකයන් අන්දමන්ද කළ මේ කුඩා මමියේ අබිරහස මේ වන විට බොහෝ දුරටකට විසඳී ඇත. අවසන් නිගමනයට අනුව ලෝකය පුදුමයෙන් මුසපත් කළ ‘අටා’ පිටසක්වළ ජීවියෙක් නොව, මිහිමත පහළ වූ දරුණුතම හා පෙර නොවූ විරූ ජාන විකෘතිතාවලින් පෙළුණු, චිලී සම්භවයකින් යුත් දැරියකි. සය හැවිරිදි වියේ කෙනෙකුට උරුම අස්ථි සැකැස්මක් පෙන්නුම් කළ ද ඇය මියගොස් තිබෙන්නේ භ්‍රෑණ අවධියේදී ම ය. එයට හේතුව අටා, අසාමාන්‍ය අස්ථි විකෘතිතාවයකින් පෙළීම විය හැකිය. අටාගේ භෞතික පෙනුමේ අසාමාන්‍යතාවයට හේතුවන විකෘති ජාන අවම වශයෙන් 7 ක් පමණ හඳුනාගැනීමට පර්යේෂකයෝ සමත් වූහ.

කෙසේ නමුත් මේ අසරණ චිලී දැරිය, අටා, නූතන වෛද්‍ය ලෝකයට අවසානයේ ආලෝකයක් ගෙන ආවාය. ඇගේ විකෘති කුඩා සිරුර, වෛද්‍ය පර්යේෂකයන්ට කියා දුන්නේ මිනිස් ශරීරයේ ඇතිවිය හැකි ඇතැම් විකෘතිතාවන්, එක් ජානයක පමණක් නොව ජාන සමූහයක විකෘතිතාවන් නිසා හටගත හැකි බවයි. මිහිමත මෙතෙක් දැක ඇති වැඩිම ජාන විකෘතිතා ප්‍රමාණයක් සහිත මනුෂ්‍යයා වශයෙන් ද අසරණ අටා මේ වන විට හැඳින්වෙයි.

- අමාලි ජයවීර
« PREV
NEXT »

Facebook Comments APPID