BREAKING NEWS
latest

728x90

468x60

විදෙස් රටකින් ආරාධනවක් ලැබුණා,ගැටුම් අවශ්‍ය නෑ,අයින් වෙලා යනවා - ලසිත් මාලිංග

2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට වඩා උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම කණ්ඩායමට වැඩදායක යැයි කළමනාකාරිත්වය බලාපොරොත්තු වන්නේ නම් කිසිම පැකිළීමකින් තොරව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තමා සූදානම් බව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අවධාරණය කරයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීමේ දී මාලිංගගේ සහාය ලබා ගැනීම කෙරෙහි කිසිම සඳහනක් මේ වන තෙක්ම තේරීම් කමිටුව ප්‍රකාශ කොට නැති නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර දිවියට සමුදීමේ අදහසින් ලසිත් මාලිංග පසුවේ.
‘‘දැන් තියෙන තත්ත්වයත් එක්ක කවුරු හරි ඇවිල්ලා කිව්වොත් කණ්ඩායමට ක්‍රීඩා කරනවාට වඩා ක්‍රීඩකයින් සමඟ කතා කරන එක වටිනවා කියලා කිසිම පැකිළීමකින් තොරව මම ක්‍රිකට් දිවියෙන් හෙටම සමුගන්නවා. මට තවමත් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා කියලා මම දන්නවා. එ්ත් ක්‍රීඩකයෙකු ලෙස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න බැරි වුනත්, උපදේශකයකු ලෙස කණ්ඩායමට දායකත්වයක් ලබා දෙන්න මම සූදානම්” යැයි ලසිත් මාලිංග පවසයි.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු බලධාරීන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයට අනුව කණ්ඩායමේ ස්ථානයක් මාලිංගට හිමි නොවීම ගැටලුකාරී තත්ත්වයක් මතු කරවන්නක් වන අතර, ආබාධයක් නොමැති තත්ත්වයක දී විවේක ගැන්වීමේ අරමුණ උදෙසා ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ඊට ප‍්‍රතිඋත්තර ලෙස තේරීම් කමිටුව ප්‍රකාශ කිරීම එම ගැටලුකාරී තත්ත්වය තවත් තීව්‍ර කරවන්නක් බවට පත්ව තිබේ.

ටෙස්ට් කඩුලු 101ක්, එක්දින කඩුලු 301ක් සහ විස්සයි විස්ස කඩුලු 90ක් වශයෙන් මුළු කඩුලු 492ක් බිඳ හෙළා ඇති මාලිංග අවසන් වරට ඉකුත් 2017 වසරේ ඉන්දියාව සමඟ මව්බිමේ දී පැවති තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ද, ඊට පසුව පැවති පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශයේ පැවැත්වෙන තරගාවලි සඳහා නම් නොකෙරිණි.

‘‘මට තවම තේරෙන්නේ නෑ මාව එළියට දාන්න කොහොමද මගේ දක්ෂතා මැන්නේ කියන එක. මාව මැනපු මානය තවමත් මම දන්නේ නෑ. තේරීම් කමිටුව කිව්වා එක්දින තරගවලට ක්‍රීඩා කරන අය විතරයි විස්සයි විස්සට තෝරන්නේ කියලා. එක්දින තරග ක්‍රීඩා කරන්න බැහැ කියලා මම කොහේවත් කියලා නැහැ. පුළුවන් ද බැරි ද කියලා බලන්න මට එක තරගයක් හරි දීලා බලන්න ඕන. මේ තේරීම් කමිටුව පත් වුනාම මම තවම එකම තරගයක් වත් ක්‍රීඩා කරලා නැහැ. එතකොට මම හොඳ ද නැද්ද කියලා එයාලට දැන ගන්න විදියක් නෑ. එහෙම නම් වෙන කවුරු හරි කියන දෙයක් අහලා මෙයාලා මේ දේ කරනවා වෙන්න පුළුවන්” යැයි පවසන මාලිංග ”තරගයක් නොදී කොහොමද මම හොඳ නෑ කියලා තක්සේරු කරන්නේ…?” යැයි ප්‍රශ්න කර සිටියි.

34 වැනි වියේ පසුවන මාලිංග පිට පිට පන්දු 4 කදී කඩුලු 4ක් දවා ගැනීම ද ඇතුලුව කඩුලු ත්‍රිත්ව 4කට හිමිකම් කියන ලොව එකම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේය. යෝකර් පන්දු යැවීමට උපන් හපන්කම් දක්වන මාලිංගගේ පන්දු හමුවේ අසීරුතාවකට පත් නොවූ පිතිකරුවෙකු ලොව නොමැති තරම්ය.

ගෙවී ගිය 2017 වසරේ දී එක්දින තරග 13ක දී කඩුලු 10ක් ද, විස්සයි විස්ස තරග 6ක දී කඩුලු 12ක් වශයෙන් මුළු කඩුලු 22ක් දවා ගැනීමට මාලිංග සමත් වී සිටින අතර ඔහුගේ පන්දු හමුවේ ලබා දුන් උඩ පන්දු 12ක්ම පන්දු රකින්නන් අතින් ගිලිහී නොගියේ නම් දවාගත් කඩුලු සංඛ්‍යාව 34ක් බවට පරිවර්තනය වනු ඇත. ගිලිහී ගිය උඩ පන්දු 12න් 3ක්ම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා තීරණාත්මක වුන පාකිස්තානය අතර තරගයේ දී ගිලිහී යෑම ශ‍්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

‘‘කා එක්කවත් ගැටලු ඇති කරගන්න මට උවමනාවක් නැහැ. ඊට ලේසියි එ්කෙන් මම අයින් වෙලා වෙන පැත්තකට යන එක’’ යැයි පැවසූ මාලිංග එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී විදෙස් රටකින් තමන්ට ආරාධනාවක් ලැබුණ ද තමා එම අවස්ථාව සතුටින් භාර ගන්නා බව ද සඳහන් කර සිටියේය..
« PREV
NEXT »

Facebook Comments APPID