BREAKING NEWS
latest

728x90

468x60

ලෝකයේ සිවුවැනි වැඩිම බර දරු උපත ශ්‍රී ලංකාවේ - බර කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 980ක්‌

ශ්‍රී ලංකාවේ වැඩිම බරින් යුත් දරු උපත පසුගිය 08 දා දහවල් බළපිටිය මූලික රෝහලේදී සිදුවිය. එය පිරිමි දරු උපතකි. මෙසේ උපත ලද දරුවාගේ බර කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 980 ක්‌ විය. සාමාන්‍යයෙන් දරු උපත් බර සඳහන් කරනු ලබන්නේ රාත්තල් වලිනි. ඒ අනුව මෙම බිලිඳාගේ බර රාත්තල් 13.1 ක්‌ විය. බිලිඳා සහ බිලිඳාගේ මව ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බව බළපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතා සඳහන් කළේය.

මෙම දරු උපත සිදුකර ඇත්තේ සිසේරියන් සැත්කමක්‌ මගිනි. සිසේරියන් සැත්කම, විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි, වෛද්‍ය දමිත නලින් යන මහත්වරුන් ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් සිදුකර තිබේ. සාමාන්‍ය නිරෝගී දරු උපතක්‌, උපත් බර රාත්තල් 3.2 ත් 5.5 ත් අතර වේ. රාත්තල් 5 ට වඩා වැඩි බර දරු උපත් සිදුවන්නේ කලාතුරකිනි. රාත්තල් 5 ට වඩා වැඩි දරු උපතක්‌ සිදුවුවත් ඒවා බොහෝ විට රාත්තල් 7.5 ට වඩා අඩු ඒවාය. ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් අඩුබර දරු උපත්ද සිදුවේ. අඩුබර දරු උපතක්‌ ලෙස හඳුන්වන්නේ රාත්තල් 3.2 ට වඩා අඩුබර දරු උපත්ය.
සැත්කම සිදුකළ බළපිටිය මූලික රෝහලේ වෛද්‍ය දමිත නලින්, ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි, යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්‌ඩලය.
සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වැඩිබර දරු උපත් සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතා විසින් කරුණු සොයා බලා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාත්තල් 13 කට වඩා වැඩි දරු උපතක්‌ මෙතෙක්‌ සිදුව නොමැති බව ඒ මහතා විසින් තහවුරු කර ගෙන තිබේ. ලෝකයේ රාත්තල් 13.1 ට වඩා වැඩි දරු උපත් 03 ක්‌ සිදුව තිබෙන බවත් එයින් රාත්තල් 15 කින් යුත් දරු උපතක්‌ වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතා තහවුරු කළේය. ඒ අනුව මෙම දරු උපත ලෝකයේ සිවුවැනි වැඩිබර දරු උපත බව පැවසූ ඒ මහතා මෙය ශ්‍රී ලංකාවේ වැඩිම බර දරුඋපත බවද ප්‍රකාශ කළේය.

මෙම බිලිගේ මව හොරවල, හබුරුගල ලිපිනයේ පදිංචි නදීෂා නිල්මිණිය. 28 හැවිරිදි ඇයගේ පළමු දරු උපත මෙයයි. මෙතරම් බර දරුවෙක්‌ මට ලැබෙන්න ඉන්නවා කියල මම හිතුවේ නැහැ. ඒ වගේම මගේ දරුවා ලංකාවේ බර වැඩියෙන්ම ඉපදුන දරුවා බවත් මම දැනගෙන හිටියේ නැහැ. ඇය කියන්නීය. මම දරුවා ලැබෙන්න බළපිsටිය රෝහලට ආවේ දැඩි විශ්වාසයකින්. මගේ ඒ බලාපොරොත්තුව ඉටු වුණා. මට දැන් හරි සතුටුයි. නදීෂා අප සමඟ පැවසුවේ සතුටු කඳුළු වගුරුවමින්ය.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ බළපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි මහතා -

සිසේරියන් සැත්කමින් පසු දරුවාගේ මව වෛද්‍ය පරීක්‍ෂණයන්ට භාජනය කරමින්.
මේ අම්මා අපේ වෛද්‍ය සායනයට නොවරදවාම පැමිණියා. අපි මුල ඉඳන්ම දැන සිටියා මේ දරුවාගේ බර ටිකක්‌ වැඩියි කියලා. නමුත් මෙතරම් බර වැඩි වේවි යෑයි අපි මුලදී විශ්වාස කළේ නැහැ. ඒත් සති ගණන් පිරෙද්දී අපිට එය හොඳින් තේරුණා. දරුවාට මාස 07 ක්‌ පිරෙද්දී අපි නිශ්චිතවම තීන්දු කළා දරුවා සාමාන්‍ය ලෙස බරින් වැඩි බව. ඒ නිසා අපි අම්මාත් දරුවාත් පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දැක්‌වූවා. ඒ නිසාම දරුවාට සති 38 ක්‌ පිරෙද්දී සිසේරියන් සැත්කමකින් අපි දරුවා එළියට ගන්න තීන්දු කළා. ඒ සියලු කාරණා මේ වන විට ඉතාම සාර්ථක වෙලා තිබෙනවා. එය මටත් හොඳ අත්දැකීමක්‌. මමත් සමඟ එයට සම්බන්ධ වූ වෛද්‍ය කාර්යය මණ්‌ඩලයත් මෙයින් සතුටක්‌ ලබනවා. වෛද්‍ය දමිත නලින් මහතාටත් මේ කාර්යයේදී කෘතවේදී විය යුතුයි. ඔහු විශේෂ කාර්යභාරයක්‌ ඉටුකළා.

එම දරුවා බළපිටිය රෝහලේදී වෛද්‍ය කාර්යය මණ්‌ඩලයේ රැකවරණය ලබමින්.
ලෝකයේ හා ලංකාවේ දරු උපත් බර සම්බන්ධයෙනුත් මම සොයා බැලුවා. මෙය ලංකාවේ වැඩිම බර දරු උපතයි. ඒ අනුව බළපිටිය රෝහල ඉතිහාසයට එකතු වෙනවා. දරුවාත් අම්මාත් හොඳ නිරෝගී තත්ත්වයෙන් ඉන්නවා. සැත්කම සාර්ථකයි. ඒ ගැන අපිට පුදුම සතුටක්‌ තිබෙන්නේ. කපිල විතානාච්චි මහතා ඉතා හැඟුම්බරව ප්‍රකාශ කළේය. 

ඕනෑම කාර්යයක්‌ සාර්ථක වූ විට එය කළ පුද්ගලයා ලබන සතුට අපි විතානාච්චි මහතාගෙන්ද දුටුවෙමු. නමුත් මෙය ජීවිතයත් සමඟ කරන ගනුදෙනුවක්‌ නිසා මෙම වෛද්‍ය කණ්‌ඩායමට ජාතියේ ගෞරවයද හිමිවිය යුතුය.

අනුර යසමිත්



« PREV
NEXT »

Facebook Comments APPID