BREAKING NEWS
latest

728x90

468x60

මුහුදු අශ්වයින් සහ කොතලහිඹුටු භාජන අරන් හොරෙන්ම චීනයට යන්න හැදූ චීන්නූ තිදෙනා කොටුවූ හැටි

නීති විරෝධී ලෙස මුහුදු අශ්වයන් සහ කොතළ හිඹුටු භාජන තොගයක්‌ චීනය බලා රැගෙන යැමට තැත් කළ එරට වැසියන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

අවුරුදු 35, 37 සහ 40 යන වයස්‌වල පසුවන මෙම චීන ජාතිකයන් තිදෙනා මේවා තම ගමන් මලු තුනක සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් 16 දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 884 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

තේ අඩංගු ටින් තුනක්‌ තුළ ග්‍රෑම් 350 ක්‌ බර මෙම වියළන ලද මුහුදු අශ්වයන් 265 ක්‌ අසුරාගෙන තිබූ අතර මීට අමතරව රුපියල් 1,60,000 ක්‌ පමණ වටිනා කොතළ හිඹුටුවලින් සකසන ලද භාජන 8 ක්‌ ද එම ගමන් මලුවල තිබුණි.

මෙම මුහුදු අශ්වයන් සෙන්ටී මීටර් 6 සිට 11 දක්‌වා වූ දිගකින් යුක්‌ත වූ අතර ඔවුන් යොදා සාදනු ලබන විශේෂ සුප් වර්ගයක්‌ පානය කිරීමෙන් පරාමායුෂ වැඩි වන බව චීන ජාතිකයෝ විශ්වාස කරති.

මෙම චීන ජාතිකයන් මේවා මීගමුව ප්‍රදේශයෙන් අධික මිලකට මිලදී ගෙන තිබූ බව රේගුව සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්‍ෂලතා ආඥ පනත යටතේ මේවා විදේශයන් වෙත රැගෙන යැම නීති විරෝධී වන අතර රේගු අධිකාරි සුගති ඡේම්ස්‌, සහකාර රේගු අධිකාරීවරුන් වන රජීවී රණසිංහ, චමෝද් සමරකෝන්, වාසනා රූපසිංහ, ටී.එම්.එන්.සී.බී. තෙන්නකෝන් යන නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

කටුනායක ගුවන් තොකටුපළ රේගු අධ්‍යක්‍ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස්‌ මත නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චින්තක කුලරත්න මහතා මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්‍ෂණය පැවැත්වූ අතර එහිදී මෙම මුහුදු අශ්වයන් සහ කොතළ හිඹුටු භාජන තොගය රාජසන්තක කළ අතර මෙම චීන ජාතිකයන් තිදෙනාට අවවාද කර නිදහස්‌ කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID