BREAKING NEWS
latest

728x90

468x60

පෙම්වතාගේ අතහැර ගිය බිරිඳ මරණයට ගාවන්න "පෙම්වතාගේ පහරින් මියගිය තරුණියගේ මව කළ බොරුව"

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පහර දී ඝාතනය කර හදිසි අනතුරකට ලක් වූ බව පවසා බළපිටිය මූලික රෝහලට බාර දෙන ලද ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ බව කියන ඇයගේ පෙම්වතා ඊයේ (15) පෙරවරුවේ ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (15) සවස ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 ජූනි මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පරප්පුව, පැලෑගස්පළාත, කොස්ගොඩ ලිපිනයේ පදිංචි හේවගේ තිලාන් ජයසිංහ (27) නැමැති අයයි. ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංගි සදමාලී නැමැති (24) හැවිරිදි අවිවාහක තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විවාහකයෙකු වන සැකකරු, ඝාතනයට ලක් වූ අවිවාහක තරුණිය සමග දීර්ඝ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. සැකකරුට අයත් වෑන් රථයෙන් සැකකරු සමග මෙම තරුණිය බොහෝ අවස්ථාවල විවිධ ගමන් බිමන්ද ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය පවසනවා.

ඇගළුම් කම්මලක සේවය කරන ඝාතනයට ලක් වූ තරුණිය සේවය නිම වී පසුගිය 12 දින රාත්‍රී නිවසට පැමිණෙමින් සිටියදී සැකකරු විසින් සිය වෑන් රථයට නංවාගෙන ඇත. එයින් පසුව දෙදෙනා අතර ඇති වූ කතාබහක් බහින්බස් වීමක් දකවා දුරදිග ගොස් තිබේ. එහිදී ඝාතනයට ලක් වු තරුණිය, සැකකරුගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කර තිබෙන බවත් එයින් පසු සැකකරු වාහනයේ ජැක් ලිවර් එක රැගෙන තරුණියට පහරක් එල්ල කර ඇති බව ඌරගස්මන්හන්දිය පොලීසිය අනාවරණයකරගෙන තිබෙනවා. තරුණියගේ හිස ඉලක්ක කරගෙන එල්ල කරන ලද එම පහර බෙල්ලට වැදුන බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත. එයින් පසුව තරුණිය සිහි සුන්ව ඇද වැටී ඇති බවත් සිය වෑන් රථයෙන්ම තරුණිය බළපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බවත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. 

ඝාතනය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල් කේ සී ඩී ආරියරත්න විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. බෙල්ලට වැදුන පහරින් බෙල්ල හරහා කුඩා මොළයට රුධිරය ගලායන නහරයක් පිපිරී කුඩා මොළයට රුධිරය වහනය වීමෙන් මරණය සිදුව තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සදහන් ය.

සැකකරු ඉකුත් 12 දා රාත්‍රී වෑන් රථයෙන් තරුණිය බළපිටිය මූලික රෝහලට රැගෙන විත්න අනතුරකට ලක්ව පාරේ වැටී සිටි තරුණියක් රැගෙන ආ බව පවසා තරුණිය රෝහලට බාර දී පිටත්ව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් රෝහල් සේවකයින්ට සැක සිතී ඔවුන් වෑන් රථයේ අංකය සටහන් කර ගෙන තිබේ. වෑන් රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළා.

ඝාතනයට ලක් වූ තරුණියගේ මව වන ලලිතා විජේසේකර (51) 12 දා රාත්‍රී 11.40 ට සිය දියණිය නිවසට නොපැමිණි බවත් ඇය අතුරුදන්ව ඇති බවටත් ඌරගස්මන්හන්දිය පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා

‘‘මම දියණියට දුරකතනයෙන් කතා කළාම අම්මේ කියනවා, එච්චරයි. දුරකතනය විසන්දි වෙනවා. 12 දා රාත්‍රී 11.00 ට පමණ කාන්තාවක් තමන්ගේ ජංගම දුරකතනයට කතා කර, දුවට අපි කරන්න ඕනෑ දේ කළා‘‘ යැයි පවසා දුරකතනය විසන්දි කල බවට ඝාතනයට ලක් වූ තරුණියගේ මව විසින් කළා යැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඌරගස්මන්හන්දිය පොලීසිය පවසනවා. සැකකරුගේ විවාහක බිරිය විසින් මෙම ඝාතනය කළ බව හැගවෙන ආකාරයට තරුණියගේ මව විසින් මෙම ප්‍රකාශය කර තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළා. සැකකරුගේ විවාහක බිරිය මීට වසර දෙකකට පමණ පෙර සැකකරු අතහැර ගොස් තිබෙන බවත් ඇය එයින් පසුව සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්තගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, පොලිස් සැරයන් ධනපාල (28634) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
« PREV
NEXT »

Facebook Comments APPID