BREAKING NEWS
latest

728x90

468x60

එල්ලුම්ගට නියමවී සිටින වෙලේ සුදා තවමත් වැඩ - කෝටි 2 1/2 ක කුඩු පිළියන්දල නිවසකින් හමූවු හැටි

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අයත් රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය සඟවා ගෙන සිටි වෙලේ සුදාගේ සමීපතම ගෝලයකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී ගිනි අවි දෙකක්‌ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

වෙලේ සුදාගේ උපදෙස්‌ මත මෙම හෙරොයින් බෙදාහැරීම සිදු කරගෙන යන බවත් වෑන් රථයකින් පැමිණෙන නාඳුනන පුද්ගලයකු තමාට මෙම හෙරොයින් තොග ලබාදෙන බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියකු දිනපතාම තමන්ට දුරකථනයෙන් කතා කර ජාවාරම මෙහෙය වන බවද සැකකරු වැඩිදුරටත් කියා තිබේ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන්නේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම නියමවූ වෙලේ සුදා ජංගම දුරකථන පාවිච්චි කරමින් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

මෙවැනි ජාවාරම්කරුවන් රැසක්‌ රට පුරා විසිරී සිටින බවත් වෙලේ සුදා දුරකථන මාර්ගයෙන් ජාවාරම්කරුවන් මෙහෙයවන බවත් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

පිළියන්දලදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 2 යි ග්‍රෑම් 120 ක්‌ වන අතර එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරද ඉක්‌මවන බව පොලිසිය කියා සිටියි.

මෙම ජාවාරම්කරු පිළියන්දල ප්‍රදේශයේ නිවසක්‌ කුලී පදනම මත ලබාගෙන කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත වී සිටින බව විමර්ශනවලින් හෙළිවී තිබේ. 

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක්‌ මත කළ වැටලිSමකදී සැකකරු කොටු වී ඇත්තේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 එකයි ග්‍රෑම් එකසිය විස්‌සක්‌ රැගෙන යතුරුපැදියක යමින් සිටියදීය.

පසුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කුලී පදනම මත ලබාගත් නිවසේ අල්මාරියක රහස්‌ ලාච්චුවක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ ග්‍රෑමයක්‌ සොයා ගැනීමට හැකි විය.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී අල්මාරියේ තවත් රහසිගත ලාච්චුවක සඟවා තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක්‌, මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ සහ විවිධ වර්ගයේ ජීව උණ්‌ඩ තොගයක්‌ ද සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු සමත් වූහ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගන්නා බව පොලිසිය පවසයි.

මෙම හෙරොයින් තොගය මේ වසරේ අත්අඩංගුවට ගත් දෙවැනි විශාලතම හෙරොයින් තොගය බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මේ වසරේ විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ කඩුවෙල ප්‍රදේශයෙන්ය. එහි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 400 ක්‌ බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිටියේ මරණ දඬුවම ලබා බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දුරකථන මාර්ග ඔස්‌සේ කරගෙන යන හෙරොයින් ජාවාරම් නතර කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර නැති බවයි.

මෙය ඉතාම බරපතළ තත්ත්වයක්‌. බන්ධනාගාරයේ රඳවා සිටින ජාවාරම්කරුවන් ඉතාම ආරක්‌ෂිතව සිටිමින් හෙරොයින් මෙන්ම විවිධ ජාවාරම්වල නිරත වී සිටිනවා. ඒ සඳහා ඔවුන්ට ජංගම දුරකථන පහසුකම් මෙන්ම අනෙකුත් සියලු පහසුකම්ද ලැබෙනවා. මේ තත්ත්වය නතර නොකළොත් ඉදිරියේදී රටට ඉතාම බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා යෑයි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
« PREV
NEXT »

Facebook Comments APPID