BREAKING NEWS
latest

728x90

468x60

ජැක් ඇන්ඩ් ජිල්

2001 මාර්තු 21 වැනිදා ශක්තිධර චිත්‍රපට විසින් ඉදිරිපත් කරන ලද ‘ජැක් ඇන්ඩ් ජිල්’ චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ විසිනි.

ගුවන්විදුලියටම ආවේණික වූ ගැඹුරු, නිරවුල් ළගන්නා කටහඬක් තිබූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගුවන්විදුලි වැඩසටහන්වලට අමතරව කැසට් නිෂ්පාදනයට සහ චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසුණේය. එම නිසා ගුවන්විදුලියෙන් මඳක් ඈත් වී සිටියද එවකට ගුවන්විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් ඔහුව නැවතත් ගුවන්විදුලි නිවේදනයට ගෙන්වා ගත්තේය. එයට හේතු වූයේ එවකට ගුවන්විදුලියේ සිටි දක්ෂතම නිවේදකයා ඈත්වීමෙන් ගුවන්විදුලි රසිකයන්ද ඈත් වීමක් පෙන්නුම් කළ බැවිනි. ‘හිත මිතුරු සුළඟ’ 2011දී නැවත ආරම්භ කිරීමත් සමග ඈත් වී ගිය රසික රසිකාවියන් නැවත ගුවන්විදුලිය වටා රොද බැඳ ගත්හ.

1967දී වෙළෙඳ සේවයේ අති ජනප්‍රිය නිවේදකයාව සිටි ධර්ම ශ්‍රී 1995දී ජනාධිපති සම්මානයෙන් පුද ලැබිය. සම්බන්ධතා මැදිරියෙන් පටන්ගෙන ස්වදේශීය සේවය සහ වෙළෙඳ සේවයේ නිවේදකයකු ලෙස කටයුතු කළේය.
නරඹන්නන් ඉදිරියේ පටිගත කෙරුණ වාසනා උදාව, පිබිදෙන ගායක පරපුර ආදී වැඩසටහන් මෙහෙයවූ ධර්ම ශ්‍රී නුවර ජේ.ආර්. ජයවර්ධන මහතාගේ වප් මඟුල උත්සවය විස්තර ප්‍රචාරයට දායක වූවේය. පසුව නුවර පෙරහර, කෝට්ටේ රජමහා විහාර පෙරහර වැනි සුවිශේෂ වැඩසටහන් ප්‍රචාරයටද දායක වූයේය.

ඒ කාලයේ ගුවන්විදුලියේ කිසියම් ආකාරයක නීති පද්ධතියක් තිබුණි. භාෂා දැනුම, වචන උච්චාරණය, වචන හැසිරවීම සමග නීති මාලාවක්ද විය. ඒවා හදාරා නිසි අවබෝධයක් ලැබූ ඔහු, නිවේදන කටයුතු කිරීම නිසා මුළු රටම ධර්ම ශ්‍රී ගේ හඬ හඳුනයි. ‘ජය ශ්‍රී මම ධර්ම ශ්‍රී’ මේ ඔහුගේ හැඳින්වීමයි. ගුවන්විදුලි නිවේදකයකු ලෙසින් කටයුතු කළ සමයේ චිත්‍රපට නිෂ්පාදක එච්.එස්. පෙරේරා, ධර්ම ශ්‍රීගේ හිත මිතුරෙකි. එච්.එස්. පෙරේරාගේ නිවසට නිතර යන එන ධර්ම ශ්‍රී ට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ අදහස ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා වැඩි කැමැත්තක් නොදැක්වුවත් නිතර නිතර එච්.එස්. එම අදහස ඉදිරිපත් කිරීම හේතුවෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ඔහු කැමති විය.

හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණය යටතේ සිංහල චිත්‍රපට වංශ කතාවේ 726 වැනි චිත්‍රපටය ‘මල්සර දෝණි’ ධර්ම ශ්‍රීගේ ප්‍රථම නිෂ්පාදනය ලෙස එළිදැක්වීය. ඒ 1992 ජුනි 12 වැනිදාය.

ලක්ෂ 10ක වියදමකින් ‘මල්සර දෝණි’ නිෂ්පාදනය කර දෙන බවට හේමසිරි සෙල්ලප්පෙරුම ධර්ම ශ්‍රීට වූ ‍පොරොන්දුව ඒ අයුරින්ම ඔහු ඉටු කළේය. චිත්‍රපට කර්මාන්තය රැක ගැනීමට නම් නිෂ්පාදන වියදම් අඩු කළ යුතු බව පෙන්වා දෙන හේමසිරිගේ අවංකත්වය උඩ චිත්‍රපටය මුල් වටයේදීම ලක්ෂ තිහක් උපයාදීමට හේමසිරිට හැකි විය.

අකමැත්තෙන් චිත්‍රපට කර්මාන්තයට පිවිසි ධර්ම ශ්‍රී චිත්‍රපට කර්මාන්තයේ රැඳී සිටීමට ඉටා ගත්තේය. උරේෂා රවිහාරි නමැති ගායිකාව සංගීත ලොවට දායක කිරීමේ පුරෝගාමියා වූයේ ධර්ම ශ්‍රීය. තම දියණිය කුඩා කල සිටම ගායනයට දක්ෂ බැවින් තම චිත්‍රපටයේ පසුබිම් ගායිකාව ලෙස යෙදවීමට ඔහු තීරණය කළේ ලොකු බලා‍පොරොත්තුවකිනි.

ඔහුගේ බලා‍පොරොත්තුව මල්ඵල ගන්වමින් අද උරේෂා රවිහාරි සංගීත ලොවේ පෙරළි කරයි. 1996 අගෝස්තු 2 වැනිදා ප්‍රදර්ශනය කළ දෙවැනි චිත්‍රපටය ‘හිරු සඳුට මැදිවී’ නම් වෙයි. ඔහුගේ තුන්වැනි නිෂ්පාදනය ‘සතුටයි කිරුළ අපේ’ නම් වේ. ධර්ම ශ්‍රීගේ මුල්ම අධ්‍යක්ෂණය ‘තිසරාවි’ තිරගත වූයේ 2000 ජුනි 21 වැනිදාය. ඔහුගේ තුන්වැනි අධ්‍යක්ෂණය වූයේ 2001 මාර්තු 21 දින ප්‍රදර්ශනය කරන ලද ‘ජැක් ඇන්ඩ් ජිල්’ ය. එහි කතාව දිගහැරෙන්නේ මෙසේය.
අරුන්දතීගේ නිවසේ බෝඩිංකාරයකු හැටියට ජිල් මාස්ටර් නැවතී සිටිනවා. අරුන්දතීද සංගීතයට ප්‍රිය නිසා ඇයට ජිල් මාස්ටර්ගෙන් සංගීතය ඉගෙනීමට ලැබේ. මේ අතරතුරේදී මෙම නිවස ඉදිරිපිට නිවසේ නැවතී සිටින ජැක් අරුන්දතීට බැල්ම හෙළනවා. එහෙත් අරුන්දතී ඇත්තටම පෙම් කරන්නේ මේ දෙදෙනාට නොවේ.

අරුන්දතී මුළු හදින්ම රාජේශ් නමැති අන්ධ තරුණයාට පෙම් කරයි. රාජේශ් අරුන්දතීව රවටා ගත්තේ තමාට විශාල දේ‍පොළක් ඇති බව කියමින්. එක් දවසක් රාජේශ් තවත් තරුණියකට පෙම් කළ බව දුටු අරුන්දතී ඔහුගෙන් වෙන් වෙනවා. මේ අතර ජිල් සහ ජැක් අරුන්දතීගේ ආලය වෙනුවෙන් දබර වෙනවා. ජිල් මාස්ටර්ගේ ආලය අරුන්දතී ප්‍රතික්ෂේප කරනවා. එයින් සිත් තැවුලට පත් මාස්ටර් ජිල් ගෙදරින් පිට වෙනවා. සංගීත ගුරුවරයකු ඉල්ලා පළ කරන පුවත්පත් දැන්වීමකට අනුව අරුන්දතීගේ ගෙදරට රෝසි නම් කාන්තාවක් පැමිණේ. එහෙත් ඒ වෙස් වළාගත් ජිල් මාස්ටර් බව දැනගත් අරුන්දතී ඔහු පන්නා ගන්නවා.

තමාට අරුන්දතී අහිමි වන බව දැනගත් රාජේශ් දාමරිකයන් යොදවා ඇයව පැහැර ගැනීමට උත්සාහ දරනවා. මේ අතර ජැක් උත්සාහය අත්හරින්නේ නැහැ. විවිධ උපක්‍රම භාවිත කරමින් අරුන්දතීගේ ආදරය දිනා ගැනීමට ඔහු උත්සාහ දරනවා. ජැක් හා ජිල්ගේ අහිංසක උත්සාහයන් මෙසේ පවතිද්දී රාජේශ් දාමරිකයන් සමග එකතු වෙනවා. එහෙත් අරුන්දතී අහිංසකව තමාට ප්‍රේම කරන ජැක්ට ප්‍රේම කරනවා.

මෙහි කතාව නවෝද් ධනුෂ්ක වික්‍රමසිංහගෙනි. දෙබස් හා තිර නාටකය ලාල් ජාගොඩආරච්චිගෙනි. සහාය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහ, කැමරා අධ්‍යක්ෂණය එම්.ඒ. ගෆූර්, කැමරා සහාය ලලිත් තෝමස්, ඒ.ඩී. ප්‍රේමදාස, ජයරත්න පෙරේරා, එම්. හේමරත්න, ඒ.ඩී. රුවන් චමින්ද, සංස්කරණය ස්ටැන්ලි ද අල්විස්, අංග රචනය සහ කොණ්ඩා සැකසුම සරත් රණවීර, සහාය ඉන්දික උදය ලංකා.

කලා අධ්‍යක්ෂණය මංගල ප්‍රනාන්දු, සහාය රවින් ජයවර්ධන, සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර, නැටුම් අධ්‍යක්ෂණය පී.එම්. නන්දකුමාර, නිෂ්පාදන විධායක චන්ද්‍ර වික්‍රමසිංහ, නිශ්චල ඡායාරූප එම්.ඒ. ගෆූර්, පසුබිම් සංගීතය නාථ බණ්ඩාර, සහාය සුසිල් පෙරේරා, ගී තනු නිර්මාණය හා සංගීතය ප්‍රියනාත් රත්නායක, ගීත ප්‍රබන්ධය හේමසිරි හල්පිට, ගීත ගායනය උරේෂා රවිහාරි, ග්‍රේෂන් ආනන්ද, රොනී ලීච්, වෝල්ටර් ප්‍රනාන්දු, මිල්ටන් සිල්වා, සුසිල් පෙරේරා.

නළු නිළියන් ටෙනිසන් කුරේ, ජයසේකර අ‍පෝන්සු, දිල්හානි ඒකනායක, අර්ජුන කමලනාථ, සුසිල් පෙරේරා, ආනන්ද අතුකෝරල, සුසිලා කෝට්ටගේ, සමන් හේමන්ත, මියුරි සමරසිංහ, ඉග්නේෂස් ගුණරත්න, ඇල්ෆ්‍රඩ් පෙරේරා, ෆීලික්ස් ඇන්ටන්, නිලූෂා මහේදිනි, ගාමිණී සිසිර කුමාර, සිරිල් ගමගේ, ප්‍රබුද්ධ රණවීර, චමින්ද පෙරේරා, අනුර වීරසිංහ, ස්වර්ණා ආර්. පෙරේරා, මෛත්‍රී දසනායක, දිල්හානි සූරියබණ්ඩාර, ශ්‍රීලාල් ධම්මික සමරසේකර, ළහිරු ද සොයිසා, ගාමිණී අබේකුමාර.

‘ජැක් ඇන්ඩ් ජිල්’ චිත්‍රපටය සිංහල චිත්‍රපට වංශ කතාවේ 917 වැනි චිත්‍රපටය වේ.

ඔස්කා මෙන්දිස්
« PREV
NEXT »

Facebook Comments APPID