BREAKING NEWS
latest

728x90

468x60

කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනයට පාතාල නායක ලඩියාගේ ගෝලයෝ තිදෙනා මාට්‌ටු

මීට මාස 4 කට උඩදී කොට්‌ටාවේ රූපලාවන්‍ය ශිල්පිනියකට නිවසකදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පාතාල නායක "ලඩියාගේ" ගෝලයන් තිදෙනා හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 10 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට ඊයේ (07 දා) පැවැසීය. 

මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්‌කරු අත්අඩංගුවට ගැනීමට ද පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයිද හෙතෙම කීය.

එම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් තිදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස්‌ තුළදී කොටු කරගෙන තිබිණි.

මොවුන් අදාළ අපරාධය සිදු කිරීමට යැමට ගමන් ගත් මෝටර් රථය හා වෑන් රථය ද එම ඒකකය භාරයට ගෙන තිබේ.

මෙම අපරාධය සිදු කළ වෙඩික්‌කරුට නවාතැන් සපයා ඇත්තේ මෙම සැකකරුවන් විසින් බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි විණැයි එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට ඊයේ (07 වැනිදා) පැවැසීය.

එමෙන්ම, යතුරුපැදියෙන් පැමිණි වෙඩික්‌කරුට මරණකාරියගේ නිවස පෙන්වීමට කැඳවාගෙන ගොස්‌ ඇත්තේ වෑන් රථයේ පැමිණි මෙම සැකකරුවන් තිදෙනා බව හෙළි විණැයි ද එම නිලධාරියා කීය.

තම මිතුරකු වූ බණ්‌ඩාට අතුරුගිරිය රූපලාවන්‍යාගාර සැලුන් එක තුළ වෙඩි තබා මරා දැමීමට මෙම කාන්තාව අනුබල දීම නිසා තමන් එයට පළිගැනීමක්‌ ලෙස වෙනත් අයකු යොදවා මැයව මරා දැමූ බව සැකකරුවන් විසින් පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 

2017/11/30 වැනිදා කොට්‌ටාව, රුක්‌මලේ, බාලිකා නිවාස පාරේ නිවසක්‌ තුළදී මංජුලා සඳුනි අබේරත්න (37) නමැති දෙදරු මවක්‌ වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත උපපොලිස්‌ පරීක්‍ෂකවරුන් වන පද්මලාල්, හේමන්ත කුමාර, පොලිස්‌ සැරයන්වරුන් වන සුනිල් (56951), මෙන්ඩිස්‌ (20553), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ප්‍රසන්න (40248), බණ්‌ඩාර (21284), අමිල (77688), සමීර (81600), සරත් (61965), සුජිත් (86527) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
« PREV
NEXT »

Facebook Comments APPID