BREAKING NEWS
latest

728x90

468x60

රජකම් කරන කොට පින් කරන්න බැහැ- සුගත් ශාන්ත මොරගහකුඹුර

 ඔබේ සබැඳියාවට විසි හය අවුරුද්දක්. ඒ ගැන මුලින්ම කතා කරමු

ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදියට වැඩකරන්න පටන් ගත්ත නිසා මම කොත්මලේ ඉඳලා කොළඹ එනවා. පාරවල් හරියට දන්නෙත් නැහැ. දවසක් පාර වැරැදිලා උදවු ඉල්ලලා කතා කරල තිබුණේ බන්දුල පද්මකුමාර මහත්තයාට. එදා ඇතිවුණු හැඳුනුම්කම මත ඔහු මාව ලක්බිම පත්තරේට ගත්තා.

ඊට පස්සේ තමයි මම නවලියට සම්බන්ධ වුණේ. නවලියේ ඉන්න ගමන් මම පොත් ලිව්වා. රංගනයට යොමු වුණා.

මුලින්ම ගොඩවුණේ වේදිකාවටද?

නැහැ. කීර්ති බණ්ඩාර ගේ 'ආදරණීය මීනා' චිත්‍රපටයේ චරිතයක් තමයි මම මුලින්ම රඟපෑවේ. ඒ 2005 අවුරුද්දේ. වේදිකාවට සම්බන්ධ වුණේ 'සොඳුරු ආඥාදායකයා' නාට්‍යයෙන්. එහි අධ්‍යක්ෂවරයා වුණේ කීර්ති. එයා වගේ මෙයා, රජ කැපිල්ල ඇතුළු නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා.

වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුවේ ඇයි?

අද වේදිකාගත වන නාට්‍ය බොහොමයක කිසිදු අර්ථයක් නෑ. හාස්‍යය පමණයි තියෙන්නේ. ඒකත් බොළඳයි. ප්‍රේක්ෂකයාට ආනන්දයකුත් නැහැ. ප්‍රඥාවක් ලැබෙන්නෙත් නැහැ. රසිකත්වයක් ඇති ප්‍රේක්ෂකයෝ රඟහලට එන්නේ නැත්තේ ඒ නිසයි. නාට්‍යවල රඟපාලා එකතු කරගත්ත සල්ලි යොදවලා මම නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුවේ අර්ථපූර්ණ රසයක් රසික ප්‍රජාවට ලබාදීමටයි.

ඔබේ ධර්මිෂ්ටර්ලා ගැන කතා කළොත්?
2040දී එනම් අනාගතයේදී මේ රටේ වෙන්නෙ මොනවද කියන එකයි නාට්‍යයෙන් කියවෙන්නේ. නාට්‍ය පටන්ගන්නේ චිත්‍රපටයක් විදියටයි. වේදිකාවට එය අලුත් අත්දැකීමක්. ඇත්තටම මේ නාට්‍ය දේශපාලන ප්‍රහසනයක්. නාට්‍යයේ තේමාව තමයි 'රජකම් කරනකොට පින් කරන්න බැහැ - පින් කරන කොට රජකම් කරන්න බැහැ'

කවුද පිටපත ලිව්වේ?

පිටපත ජේ.ඒ.ඩී. පෙරේරාගේ. අධ්‍යක්ෂණය කරන්නේ අනුර වරාගොඩ. මාක් සැම්සන්, රොහානි වීරසිංහ, අනුර වරාගොඩ, අනුර මාපිටිය, කුලසිරි මල්ලිකාආරච්චි, අශෝක මොරකුඹුර, චින්තක පතිරණ රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කරන්නේ සමීර සුබසිංහයි.

ඔබට විශ්වාසද ප්‍රේක්ෂකාගාරය ධර්මිෂ්ටර්ලා පිළිගනී කියලා?
ඔව්, මට විශ්වාසයි. අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයා ධර්මිෂ්ටර්ලා වැලඳ ගනී කියලා. මම මේ නාට්‍යයට එකතු කරගෙන ඉන්නේ වෘත්තීය නාට්‍යකරුවන්. මගේ වෘත්තිය පත්තර කලාව. ඒ නිසා මට අවශ්‍ය මුදල්වලට වඩා නාට්‍ය ජනතාව අතරට යෑමයි. නාට්‍යකරුවන්ට යහපතක් කිරීමයි. නාට්‍ය අඩු මිලකට ලබාදීමෙන් සංවිධායකයන්ට ප්‍රවේශපත්‍රවල මිල අඩු කිරීමේ අවස්ථාව ලබාදෙනවා. එහි අරමුණ වැඩි ප්‍රේක්ෂක පිරිසක් ධර්මිෂ්ටර්ලා වටා එකතු කරගැනීමයි.

සංලාපය නුවන් හෙට්ටිආරච්චි
« PREV
NEXT »

Facebook Comments APPID