BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

විල්පත්තු මායිමෙන් විජය-කුවේණි කතාවේ අබිරහස මතුවෙයිද?

විජය - කුවේණි හමුවූ පෙදෙස පුත්තලමින් දකුණට වූවකි. එහෙත් තම්මැන්නාවල, කුවේණි මාලිගය යන ස්ථාන දෙක පිහිටියේ ඊට බොහෝ අෑතිනි. එය විල්පත්තු අභයභූමියේ වර්තමාන ප්‍රවේශ මාර්ගයට තරමක් දුරින් පිහිටියකි. එය පිළිබඳ එන ජන කතාවේ කුවේණිය සමඟ සම්බන්ධ ස්ථානයක් බව කියැවේ. කුවේණිය මෙහි සිටි බවත් ඇය දිය නෑ වළ (වැව) මෙහි වූ බවත් කියැවේ. මේ ප්‍රවාද ඉවතලිය නොහැකිය.

තම්මැන්නාවල හා කුවේණි මාලිගය කුවේණියට සම්බන්ධ කිරීමට ජනප්‍රවාදය හැර වෙනත් යම් සාධකයක් නැත. එහෙත් මේ ස්ථාන දෙකේ බෞද්ධ ආරාම දෙකක නටබුන් තිබේ. එක් තැනක ගරා වැටුණු විශාල ස්තූපයක ගැඹුරු වළක් හාරා නිධාන සෙවීම නිසා එය හානියට පත්වී තිබේ. වළේ අවසානය දක්වාම ඉවුරු තුළ සෑයේ ගඩොලු තට්ටු දක්නට ලැබේ. ඒවා අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් බව පෙනේ. ස්තූපයේ වළේ හා අවට පැරැණි ගල් කණු රැසක් දක්නට ලැබේ. ඒවායේ නිර්මාණ ලක්ෂණ නැත. චාම්ය. විවිධ උසින් යුක්තය. මේවා කිසියම් ගොඩනැඟිලි කිහිපයකට අයත් වූ ඒවා බව පෙනේ. එසේම ඒ අසල උස් ගල්කණු ගොඩනැඟිලි දෙකක් වේ. ඒවා කුවේණි මාලිගාවට අයත් ලෙස ජනප්‍රවාදය දක්වයි.

සමස්තයක් ලෙස සලකා බලන විට පෙනී යන්නේ අනුරාධපුර යුගයේ ඉදිවුණු බෞද්ධ ආරාම දෙකක් මෙහි පැවැති බවයි. නිදන් හාරන්නන් විසින් මේ ස්ථාන විනාශ කර ඇති ආකාරය සංවේගජනකය. විල්පත්තු අභයභූමියේ එක් සීමාවක් වන්නේ මහ සමුදුරයි. මේ වෙරළ තීරය කලාඔය මෝදර සිට මෝදරගම් ආර දක්වා විහිදෙයි. මේ තීරය තුළ ඉතාමත්ම වැදගත් ජාතික උරුමයන් සැඟවී ඇති බව පෙනේ. මේවා කිසිදිනෙක පූර්ණ ලෙස තබා ස්වල්ප වශයෙන්වත් ගවේෂණය කර නැත. වයඹ දෙසින් එල්ල වුණු නිරන්තර ආක්‍රමණවලට මුහුණ දුන් මේ පෙදෙස් විනාශ වී ගිය බව පෙනේ. පෘතුගීසි, ලන්දේසි ආදී බටහිර ජාතීන්ට මුහුදුබඩ තීරය යටත් වූ කාලවල මෙහි වූ වටිනා පුදබිම් විනාශ වූයේය. ඔවුහු ඒවායේ තිබූ වටිනා දේ පැහැර ගත්තාහ.

මෝදරගම් ආර මුහුදට පිවිසෙන තැන පැරණි යුගයේ වරායක් පිහිටා තිබූ බව පෙනේ. එය මූලාශ්‍රවල සඳහන් වන්නේ උරුවෙලා යනුවෙනි. එම ප්‍රදේශයද ඒ නමින් හඳුන්වා තිබේ. විජයගේ ඇමැතියකු මෙන්ම භද්දකච්චායනාගේ සහෝදරයකු ද උරුවෙලා නමින් ජනපදයක් බිහි කළ බව වංසකතාවල කියැවේ. මේ එයින් එකක් විය යුතුයි. උරුවෙලා නමින් ජනපදයක්ද මහජල්ලිකගාම නමින් කෙවුල් ගමක්ද වූ බවත් එහි පූජනීය බෝධියක් තිබූ බවත් සාහිත්‍ය ග්‍රන්ථවල දැක්වේ. මෙහි අභිමානවත් යෝධයෙක් සිටියේය. ඔහු දුටුගැමුණු රජුගේ දාඨාසේන යෝධයා අතින් පරාද විය.

දාඨාසේන නාගදීපයට ගියේ උරුවෙලා වරායෙන් පිටත් වී බව පෙනේ. මේ වරාය සෙල්ලිපිවල දැක්වෙන්නේ මගන වශයෙනි. ටොලමිගේ ලංකා සිතියමෙහි ද එය මර්ගන නමින් සටහන් කර තිබේ. මීට පෙර සඳහන් කළ ඔච්චාප්පුකල්ලු හා සිනාඩියගල ලිපිවල එසේ සඳහන්ව තිබීමෙනුත් පෙනී යන්නේ එය ජාත්‍යන්තර කීර්තියට පත්ව තිබූ වරායක් බවයි. දැනට වරායක් පැවැති බවට ඇති නිර්මාණ නැතත් මුල්ලිකුලම්හි වැලි කඳුවල ඇති කාස,ි වළං, මැටි භාණ්ඩවල කැබලි ආදිය සලකා බලන විට යථාර්ථය පැහැදිලි කරගත හැකිය. කෙටියෙන් කියතොත් පොළොවෙහි වැළලී ගිය නගරයක් මෙහි පිහිටියේය.

මෙහි තිබූ බෝධිය හෝ විහාරය හෝ දැන් දක්නට නැත. දැනට නාවික හමුදා කඳවුරක් අසල පැරැණි ශේෂ සුළු වශයෙන් තිබේ. වැලිගොඩැලි සමඟ මිශ්‍ර වූ ගඩොලු කැබිලි, උළු කැබලි මෙහි වේ. ගොඩබිමට වන්නට ස්ථාන දෙකක් පෙරළා දමා ඇති ගල් කොටස් බොරදම් බේරා ඇති නිසා කිසියම් ‍ෙදාරටුවකට යෙදූ ඒවා බව පෙනී යයි. මින් එකක් ලඳු කැලය ඇති නෙලුම් මල් පිරී ඇති කුඩා වැවක රෙදි සෝදන ගලක් සේ ගෙන ඇත.

ජබො අවිය, ඔතුක විය, තලවණ අවිය, වෙවළමිතියෙහි වුදනක වැව, කාළ පාෂාණ යනුවෙන් සෙල්ලිපිවල සටහන් වී ඇති ස්ථාන හෝ වැව් මේ ප්‍රදේශයේ පිහිටා තිබිය යුතුය. මෙහි විනාශ වී ගිය වැව් සිය ගණනක් තිබේ.

විජිත කේ. පතිරණ
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.