BREAKING NEWS
latest

728x90

468x60

බස් වර්ජනයක් නෑ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කරයි.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා සමඟ පැවැති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වෙයි.

බස් ගාස්තු සියයට 6.5කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය සැලසුම්කර තිබුණු නමුත් නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම බස්රථ වර්ජනය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ නැංවීමට සහ සියයට 6.5ක්ව පැවැති බස් ගාස්තුව වැඩිවීම සියයට 12.5 දක්වා ඉහළ නැංවීමට ද මේ සාකච්ඡාවේ දී එකඟතාවයකට පැමිණ තිබෙන අතර එම යෝජනාව ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසුව එම සංශෝධන බස්ගාස්තු ක්‍රියාත්මක වන බවද ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා දිනමිණ ට පැවසීය.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා පසුගිය දා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ නමුත් එම අගයන් ප්‍රමාණවත් නොවන බව පවසමින් වර්ජනය කිරීමට බස් රථ සංගම් සූදානමින් සිටි අතර කෙසේ වුවද අවම බස් ගාස්තුව සංශෝධනය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළකර තිබිණි.

කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය යන සංගම් තීරණය කර තිබිණි.

රජය ඉන්ධන මිල සංශෝධනය කිරීම හේතුවෙන් මෙම බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් සංගම් පෙන්වා දුන්නේය. ඒ අනුව රුපියල් 10 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 15 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවට සහ බස් ගාස්තු සියයට 20 කින් වැඩි විය යුතු බවට බස් සංගම් විසින් මීට පෙර ප්‍රකාශ කෙරිණි.

එම ඉල්ලීම මුල්කර ගනිමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බවට සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය සඳහන් කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID