BREAKING NEWS
latest

728x90

468x60

සහනයක් - සැනසීමක් නැති අනියම් සබඳතා නවත්වන්නේ මෙන්න මෙහෙමයි

“අනියම් සබඳතා” අද සමාජයේ පවතින ප්‍රධාන ගැටලුවක්‌ බවට පත්වී හමාර ය. මෙම ගැටලුව නිසා පවුල් සංස්‌ථාව බිඳ වැටීම, ආර්ථිකය බිඳ වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම, නින්දා අපහාස ලැබීම, නොයෙකුත් සමාජ රෝගවලින් පීඩා විඳීම, සියදිවි හානි කර ගැනීම පමණක්‌ නොව, මිනී මැරුම්වලට පවා මුහුණපාන අවස්‌ථා දක්‌නට ලැබේ.


අනියම් සම්බන්ධතාව කාම මිත්‍යාචාරය යන අකුසලයට වැටේ. සැමියකු විසින් හෝ බිරිඳක විසින් හෝ මාපිය සහෝදරයකු විසින් ආරක්ෂා කරනු ලබන ස්‌ත්‍රියක හෝ පුරුෂයකු බලෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් කාමයේ වරදවා හැසිරීම, කාම මිත්‍යාචාර පාපය වේ. එනම් තමා ආරක්ෂා කරන පුරුෂයා සිටිය දී පර පුරුෂයන් හා හැසිරීම ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය වේ.

හිමියන් නැති, මාපියන් විසින් ආරක්ෂා කරන ස්‌ත්‍රියන් සමග කාමයේ හැසිරීම පුරුෂයාට පමණක්‌ කාම මිත්‍යාචාර පාපය වේ. සැමියකු විසින් ආරක්ෂා කරන ස්‌ත්‍රියක හා හැසිරීම ස්‌ත්‍රියට හා පුරුෂයාට යන දෙදෙනාටම කාම මිත්‍යාචාරය වේ. එහි දී පහත කාරණා 04 අංගසම්පූර්ණ විය යුතුය.

1. සේවනය නොකළයුතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකු වීම
2. සේවන චිත්තය ඇතිවීම.
3. සේවනයට උත්සාහය කිරීම
4. සේවනය කිරීම හෝ ආශ්වාදය විඳීම යන අංග 04 සම්පූර්ණ වීම කාම මිත්‍යාචාරය වේ.

මෙම අකුසලය අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වශයෙන් කොටස්‌ 02 කට බෙදේ. මෙහි ආදීනව බුදුදහමට අනුව, මෙලොව දී නින්දාවට පත්වීම, අනුන්ගෙන් පහර වැදී මරණයට පත්වීම, සිරගෙයි වැටීම, මරණයෙන් පසු නිරයෙහි ඉපදීම, මිනිස්‌ බල ලැබූ කල්හි බොහෝ ජාතීන්හි නපුංසකයන් වීම, පුරුෂයෙක්‌ නම් ස්‌ත්‍රියක්‌වීම, විරූපී වීම, ජනයාට අප්‍රිය වීම, බොහෝ සතුරන් ඇත්තෙකු වීම, රෝගීන් වීම ආදී පීඩා බුදුන් වහන්සේ දේශනා කර ඇත.

අනියම් සබඳතා ඇතිවීම සඳහා ජ්‍යේතිෂයට අනුව, තම ජන්ම පත්‍රයේ යෝග විශාල සංඛ්‍යාවක්‌ ඇත. ඒවා එකින් එක විස්‌තර කිරීම සඳහා විශාල ඉඩක්‌ වෙන් විය යුතු බැවින්, එවැනි යෝග සාරාංශ ගත කර, පහත ඉදිරිපත් කර ඇත. එනම් කේන්ද්‍ර පරීක්ෂාවේ දී පුද්ගලයා කාම භෝගී පුද්ගලයෙක් ‌ද? අධ්‍යාත්මය දියුණු කරන පුද්ගලයෙක් ‌ද? යන්න පරිණත ජ්‍යේතිෂවේදියකුට කේන්ද්‍රය පරීක්‍ෂාවෙන් තීරණය කළ හැකි ය.

ඉන්පසු ඔහුගේ විවාහය සඳහා ඔහු කාමභෝගී පුද්ගලයෙක්‌ නම්, ඒ සඳහා ගැලපෙන කේන්ද්‍රයක්‌ ද, අධ්‍යාත්මය සඳහා නැඹුරු පුද්ගලයෙක්‌ නම් ඒ සඳහා ගැලපෙන කේන්ද්‍රයක් ‌ද පොරොන්දම් පරීක්ෂාවෙන් හා කේන්ද්‍ර ගැලපීමෙන් නිර්දේශ කළ යුතු වේ.

මෙහි දී 07 වැන්න, 08 වැන්නාධිපතිගේ පිහිටීම, 07 වැන්නේ හා 08 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම හා එම ස්‌ථානවලට ඇති ග්‍රහ දෘෂ්ටීන් කුජ මිතුරුව පිහිටීම, අති ධාවනකාරී කාමයෝග ඇත්නම් ඒවායේ බල දුබලතාවය, ඉහත සඳහන් ග්‍රහයන්ට අදාළව ග්‍රහයන්ගේ ශඩ් වර්ණය, නැකත, අවස්‌ථාවන්. එම ග්‍රහයන්ට අදාළ වන ජීව ශරීර ග්‍රහයන්ගේ බල දුබලතාවය, ඊට අමතරව 05 වැන්න හා 11 වැන්නට අදාළව ග්‍රහ පිහිටීම මගින් ද, එනම් විවාහයට පෙර සබඳතාවය 05 වැන්නෙන්ද, විවාහයට පසු සබඳතා 11 වැන්නෙන් ද පරීක්‍ෂා කළ යුතු වේ.

එසේම කුජ සිකුරුගේ පරිවර්තන (රාශි, නවාංශක, නැකැත්) පරීක්‍ෂා විය යුතු වේ. මෙහිදී ඉහත සඳහන් කළ ස්‌ථාන හා ග්‍රහයන් පාප පීඩිත වීම, නීච සතුරු වීම, ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට හසු නොවීම ආදි විශාල කරුණු සංඛ්‍යාවක්‌ අධ්‍යයනය කර පලාපල කථනය සිදු කළ යුතු වේ.

(අනියම් සබඳතා විකෘති කාම ආශාවන් ආදිය)

මෙහිදී මෙවැනි යෝග (ග්‍රහ පිහිටීම්) කේන්ද්‍රය තුළින් පෙන්නුම් කරන්නේ නම් එවැනි අය ඒ සඳහා පූර්ව දැනුවත් වීම තුළින්, කර්මානුරූපීව වන බලපෑම අවම කර ගැනීම සඳහා උත්සාහය හා වීර්යය තුළින් ජය ගත හැකිය. ඉහත යෝගයන් ඇතුළු මහ දශාව සහ අන්තර් දශාව, ගෝචර ගමන පාදක කරගෙන, එවැනි සබඳතා ඇතිවන කාලය නිර්ණය කළ යුතු වේ. එමගින් අදාළ කාලඡේදයන් පෙර හඳුනා ගැනීම හා දැනුවත් වීම මගින් ඒ සඳහා පිළිවෙත් හා ප්‍රතිකර්ම කිරීමෙන් හා එම පුද්ගලයා සතු වීර්යය තුළින් හා සහසම්බන්ධතාවන්හි ඇති බලවත් වීම තුළින් (පවුල් සංස්‌ථාව තුළ) මේවා මග හරවා ගත හැකි ය.

ජ්‍යේතිෂය යනු කර්මය පදනම් කරගෙන, අනාවැකි පළ කරන විෂයක්‌වන අතර, මෙය ලෞකික දියුණුව සඳහා යොදාගත හැකි ලොව පවතින විද්‍යාවන් අතරින් අද්විතීය සම්පතකි. නමුත් බුදුදහම අනුව සියලු දේ කර්මයට භාර නොදී, අනෙකුත් න්‍යාය ධර්මයන් පාදක කරගෙන, ආර්ය සත්‍යයට අනුකූලව, ලොව පවතින යථා ස්‌වරූපය එලෙසින්ම විග්‍රහවන, පරම සත්‍යයම වේ. එම නිසා ජ්‍යේතිෂය හා බුදුදහම සමගාමීව යන විෂයයන් 02 ක්‌ නොවන අතර, ජ්‍යේතිෂය යනු ලෞකික සම්පත් හා අධ්‍යාත්මය දියුණු කර ගැනීමට උපකාරී කරගත හැකි විෂයක්‌ වේ. මා විසින් පෙර පරිච්ඡේදවල සඳහන් කළ යෝගවල බලපෑමක්‌ ඇත්නම්, ප්‍රතිකර්ම කිරීමේ දී දෙවියන්ගේ පිහිට සෙවීම තුළින් බෞද්ධයන්ගේ සරණාගමනය (තිසරණය පිළිබඳව පවතින පිවිතුරු චිත්තය) කිළිටි වේ. යන්න ඇතැමුන් කිව්වත්, එය එසේ පිළිගත නොහැකි ය.

ස්‌වශක්‌තියෙන් සිදු කර ගතනොහැකි දෙයක්‌ එය සිදු කර ගැනීමට හැකි කෙනකු ලවා, සිදු කරවා ගැනීමේ දී ගරු බුහුමන් කිරීමට, තෑගි බෝග දීමට සිදු වේ. ඒ ආකාරයෙන් දෙවියන්ගෙන් යමක්‌ ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා වැඳුම් පිදුම් කරති. එය රාජ්‍යාධීන්ට වැඳීමෙන්, පුද පඬුරු දීමෙන් සරණාගමනයට හානියක්‌ නොවන ආකාරයට දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද හානියක්‌ සිදු නොවේ. හානියක්‌ සිදුවන්නේ රත්නත්‍රයට වඩා උසස්‌ කොට දෙවියන්ට වැඳුම් පිදුම් කිරීමෙනි.

එනම් එවැනි පූජාවක්‌ කරන්නේ නම් ප්‍රථමයෙන් තිසරණයේ පිහිට (බුදුන් , දහම්, සඟුන් වැඳ) ලබාගැනීම බෞද්ධයන් විසින් කළ යුතු වේ. මෙවැනි යෝගයන් ඇති වන්නා වූ අයගේ ග්‍රහ පිහිටීම් අදාළ කරගෙන, එම අදාළ ග්‍රහයන්ට කළ යුතු පිළිවෙත් හා ප්‍රතිකර්ම සිදු කළ යුතු අතර, අමනුෂ්‍යයන් මුල් කර ගෙන බන්ධන කර ඇත්නම් (වශී, ඉනා වැනි) කේන්ද්‍රය සූක්‍ෂම ආකාරයට පරීක්‍ෂා කිරීමෙන් ඒවාද හඳුනා ගත හැකි අතර මෙහි දී (කේතුගේ, රාහුගේ පිහිටීම, ඔවුන්ගේ මහ දශා, අන්තර් දශාවල බලපෑම) සැලකිල්ලට ගත යුතුය. සෝවාන් වූ ආනන්ද හිමියන්ට පවා රොඩී බන්ධනයක්‌ කිරීම නිසා උන්වහන්සේට ද බලපෑමක්‌ සිදූ වූයේ නම් ඒවායේ ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සිතා බැලීම පාඨක ඔබට භාර දෙන අතර, මෙවැනි දෙයකට සම්බන්ධ වීම විශාල අකුසලයක්‌ බව සිහියේ තබාගත යුතුවේ.

විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී – ගෝඨාභය මුදලිගේ
« PREV
NEXT »

Facebook Comments APPID