BREAKING NEWS
latest

728x90

468x60

දියණිය සොයා වසර 24ක් ඇවිද ගිය තාත්තා : VIDEO

වසර විසි හතරක කාලයක් තිස්සේ සිය දියණිය සොයමින් සිටි චීන ජාතික පියකුට ඇය හමුවීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙයි.

එම දියණිය අන්තර්ජාල පුවතක් දැකීමෙන් මේ වසරේ මුල් භාගයේදී සිය පියා සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඇත.

විශ්වාස කිරීමට පවා අපහසු මෙම පුවත චීනය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි.

ඊයේ ( 03) සිදුවූ එම පියා සහ දියණියගේ හමුවීම බොහෝ දෙනකු විසින් සමරනු ලැබ ඇත්තේ උත්සවාකාරයෙනි.

තම දියණිය 'කයිෆිංග්' ඇයට වසර තුනක්ව තිබියදී අතුරුදහන් වූ බව 'වන්ග්' නම් පුද්ගලයා චීන මාධ්‍යයන්ට ප්‍රකාශ කර ඇත.

'වන්ග්' සහ ඔහුගේ බිරිඳ පළතුරු වෙළෙන්දන්වූ අතර, මිට වසර 24 කට පෙර එක්තරා දිනයක පළතුරු විකුණා අවසන් වනවිට තමන් සමග සිටි තෙහැවිරිදි දියණිය අතුරුදහන්ව ඇති බව ඔවූහු තේරුම් ගත්හ.

වසර ගණනාවක් පුවත්පත්වල සහ අන්තර්ජාලයේ දැන්වීම් පළකරමින්, තමන් ජීවත් වෙන නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පුරා ඔවුහු තම දියණිය සොයා ගියහ.

තවත් කුඩා දියණියකගේ දෙමාපියන් වූ වන්ග් යුවළ 'චැංග්ඩු' (Chengdu) නගරය හැරදා නොගියේ තම දියණිය කවදා හෝ නැවත පැමිණේය යන අපේක්ෂාවෙනි.

තම දියණිය සොයා යන මෙහෙයුම තවත් පුළුල් කළ යුතුය යන විශ්වාසයෙන් වන්ග් 2015 වසරේ ප්‍රදේශයේ කුළී රථ සමාගමක රියැදුරකු ලෙස සේවයට බැඳෙන්නේ, යම් දිනෙක තම දියණිය එම කුළී රියේ මගියකු ලෙස හෝ හමුවේය යන අපේක්ෂාවෙනි.

තම කුළී රථයේ පිටුපස වීදුරුවේ තමන්ගේ ආයාචනය ඇතුලත් දැන්වීමක් ඇලවූ වන්ග්, කයිෆිංග් ගේ තොරතුරු ඇතුලත් කාඩ් පතක්, ඔහුගේ රථයේ ගමන් ගත් සෑම මගියකු අතට දීම පුරුද්දක් කර ගත්තේය.

තම දියණියගේ ඡායාරූපයක් නොමැතිවීම හේතුවෙන් වන්ග් තම බාල දියණියගේ ඡායාරූපයක් එම තොරතුරුවලට ඇතුලත් කරන ලද්දේ ඔවුන් දෙදෙනා සමාන රුවින් යුතුවූ බැවිනි.

වසර ගණනාවක් පුරා චීන පොලීසිය 'කයිෆිංග්' යැයි සැකකළ හැකි කාන්තාවන් කීපදෙනකුගේ DNA පරීක්ෂා කළ නමුදු ඒවා 'වන්ග්' පවුලට ගැළපුනේ නැත.

චිත්‍ර ශිල්පියෙක් පසුගිය වසරේ වන්ග්ගේ උපකාරයට පැමිණියේය. තරුණ කයිෆිංග්ගේ මනඃකල්පිත රූපයක් ඔහු නිර්මාණය කළ අතර එය අන්තර්ජාලය පුරා ප්‍රචාරය විය.

කිලෝමීටර් දහස් ගණනක් ඈත, රටේ එක් කෙළවරක, කන්ග් යින්ග් (Kang Ying) නම් කාන්තාවක් ද එම චිත්‍රය දුටුවාය. තම රූපයට සමාන එම චිත්‍රය දැකීමෙන් ඇය තැති ගත්තාය.

මෙම වසර මුලදී ඇය වන්ග් වෙත දුරකථන ඇමතුමක් දුන්නාය. එහිදී ඇගේ නළලේ ඇති කැළලක් සහ හැඬූ පසු වමනය මෙන් දැනෙන හැඟීම වැනි තම දියණිය සතු විශේෂ ලක්ෂණ කීපයක් හඳුනාගන්නට ඔහු සමත් විය.

ඉන්පසු වහාම DNA පරීක්ෂණයක් යොදාගත් අතර, මෙවර එය සාර්ථක වූයේ දීර්ඝ කාලයක් පුරා සොයන ලද දියණිය වන්ග් පවුලට හිමි වීමෙනි.

"මේ කාලය පුරා අප කෙතරම් අපේක්ෂාවන්ට සහ අපේක්ෂා භංගත්වයන්ට මුහුණ දුන්නාදැයි මට හරියටම කියන්න බැහැ. අවසානයේ අපට යළිත් එකතු වීමට හැකි වුනා" යනුවෙන් වන්ග් උපුටා දක්වන 'බෙයිජිං යූත් ඩේලි' (China Youth Daily) පුවත්පත වාර්තා කරයි.

උතුරු 'ජිලින්' ප්‍රාන්තයේ (Jilin province) විසූ කන්ග් යින්ග් තරුණිය 'චන්ග්ඩු' නගරයට ගුවනින් පැමිණ අඟහරුවාදා සිය දෙමව්පියන් හමුවූවාය.

කන්ග් යින්ග් තම සැබෑ දෙමාපියන්ට කිලෝමීටර් විස්සක් පමණ ඈත ප්‍රදේශයක හැදී වැඩී, පසුව වෙනත් ඈත පළාතක ජීවත් වූ අතර, ඇය සිය පවුලෙන් වෙන්වූ ආකාරය පිළිබඳ තොරතුරු නොමැති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

BBC






« PREV
NEXT »

Facebook Comments APPID