දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ බස් රථයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරියකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසී ය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූ කරුණු අනුව මෙම යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ බලලත් නිලධාරී ii අංගොඩගෙදර ජනක ලෙස්‌ලි කුමාර චන්ද්‍රසේන නමැත්තාය.
මෙම බෝම්බ පිපිරීමෙන් ඔහු ද බරපතළ තුවාල ලබා දියතලාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. රෝහලේදී අත්අඩංගුවට ගත් එම යුද හමුදා නිලධාරියාව බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 26 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දියතලාව, බණ්‌ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී බණ්‌ඩාරවෙල සිට දියතලාව දක්‌වා ගමන් කළ පෞද්ගලික බස් රථයක් තුළ ගමන් ගත් යුද හමුදා සෙබළුන් 7 දෙනකු ද, ගුවන් හමුදා සෙබළුන් 5 දෙනකු ද සිවිල් පුද්ගලයන් 7 දෙනකු ද ඇතු`ඵ 19 දෙනෙක් තුවාල ලැබූහ.
දියතලාව පොලිසිය වැඩි දුර පරීක්‌ෂණ සිදු කරයි.