BREAKING NEWS
latest

728x90

468x60

මළ සිරුරක්‌ හෙළි කළ අභිරහසක්‌ : පිහි ඇණුම් පහරින් මිනීමරුවා සොයාගත් හැටි

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අණිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි


දෙදරු මවක්‌ වූ නිර්මලා මැදිවියේ පසුවූ කාන්තාවකි. ඇය හතළිස්‌ දෙහැවිරිදි වියේ පසුවුවද පැහැබැර රූසපුවකට උරුමකම් කීවාය. නිර්මලාගේ සැමියා යුද හමුදාවේ සේවය කළේය. එවකට යුද්ධය දරුණු ලෙස පැවති කාලයකි. මේ නිසා මොහු ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි කළ අතර මේ නිසා නිවසට පැමිණියේ මාස දෙකකට දෙතුන් වතාවක්‌ පමණි. නිර්මලා දරු දෙදෙනා සමග නිවසේ තනිවම පදිංචිව සිටියාය. දරුවන් පාසලට මෙන්ම උපකාරක පන්තිවලටද රැගෙන ගියේ නිර්මලා විසිනි. ඇය තම යතුරුපැදියෙන් මෙම කටයුතුවල නිරත වූවාය. නිර්මලා වැල්ලකරය ආශ්‍රිත ගම්මානයක පදිංචිව සිටි අතර ඇය නිර්භීත කාන්තාවක්‌ වූවාය.

නිර්මලාට ඇතැම් අවස්‌ථාවලදී දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකිරීම සඳහා රාත්‍රි කාලයේදී පවා ගමන් බිමන් යැමට සිදුවූවාය. එහෙත් නිර්මලාට කිසිවෙක්‌ විහිළු තහළු කළේ නැත. ඒ නිර්මලාගේ හැටි කොයි කවුරුත් දන්නා බැවිනි. කුරුඳු වගාකොට තිබූ ඉඩමක මැදට වන්නට නිර්මලාගේ නිවස පිහිටා තිබුණේය. නිර්මලාගේ නිවසේ සිට මීටර් හත් අටසියයක්‌ දුරින් ඇගේ මවගේ නිවස පිහිටා තිබුණි. අවට තැනින් තැන ලඳු කැළෑද දක්‌නට විය. නිර්මලාට සිටියේ පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු දහතුන් හැවිරිදි වියේ පසුවූවාය. දෙවැනි පුතුගේ වයස අවුරුදු නමයකි. දරු දෙදෙනාට විවේකයක්‌ ලැබුණු විගස ආච්චිගේ නිවසට යැමට පුරුදුව සිටියහ. මක්‌ නිසාදයත් මෙම දරු දෙදෙනාට ආච්චි මෙන්ම සීයාද දැක්‌වූයේ දැඩි ආදරයකි, සෙනෙහසකි.

එක්‌ දිනක්‌ රාත්‍රියේ නිර්මලාගේ පුතුන් දෙදෙනා ආච්චි අම්මාගේ නිවසේ ගත කළහ. ඒ සඳහා නිර්මලාගේ ද අවසරය ලැබී තිබුණි. එදින රාත්‍රි නිර්මලා තනිවම නිවසේ රාත්‍රිය ගත කළාය. තමන් මේ ගතකරන්නේ අවසන් රාත්‍රිය බව ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. එදින නිවාඩු දිනයකි. ඒ නිසා නිර්මලාගේ මව එදින උදෑසන නමයට පමණ දරු දෙදෙනා සමඟ නිර්මලාගේ නිවසට පැමිණියාය. නිවසේ දෙර වසා තිබුණි. නිවසේ විදුලි පහන්ද දැල්වී තිබුණි. දරු දෙදෙනා සහ මව නිර්මලාට කතා කළ ද ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොවීය. නිර්මලාගේ මව මේ ගැන තම සැමියාටද කීවේය. ඔහු ද නිර්මලාගේ නිවසට පැමිණ නිර්මලාට කතා කළේය. නිර්මලාගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු තැන නිවසේ දෙරකඩා නිවසට ඇතුල් විය. නිර්මලා සාලයේ මැද ලේ පෙරාගෙන වැටී සිටියාය. සිමෙන්ති පොළව දිගේ රුධිරය ගලාගෙන ගොස්‌ තිබුණි. මේ ගැන පොලිසියට දැනුම් දීමට නිර්මලාගේ පියා කටයුතු කළේය. පොලිස්‌ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කරනු ලැබීය. මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පවත්වනු ලැබීය. නිර්මලාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වනු ලැබුවේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාය. ඔහු පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වීමට පළමුව ස්‌ථානීය පරීක්‌ෂණයක්‌ පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්‌ථානයට ගියේය.

නිර්මලාගේ ගෙලෙහි සහ දෑත්වල කැපුම් තුවාල දක්‌නට විය. එවා දිගු කැපුම් තුවාල විය. නිර්මලා වැටී සිටි ස්‌ථානයේ තිබූ ලේ පැල්ලම් ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතාගේ දැඩි නිරීක්‌ෂණයට ලක්‌විය. මක්‌නිසාදයත් අපරාධයක සුලමුල අනාවරණය කර ගැනීමේ දී ලේ පැල්ලම් පරීක්‌ෂාව ඉතා වැදගත් වන්නේය. නිර්මලා වෙනත් ස්‌ථානයක ඝාතනය කොට නිවස තුළට ගෙනවිත් දැම්මාද, නොඑසේ නම් නිවස තුළදීම ඇය ඝාතනය කළාද මෙම ප්‍රශ්නවලටද පිළිතුරු සොයාගත යුතුවිය. නිර්මලාගේ නිවසට මදක්‌ දුරින් ඔවුන්ට අයත් පොල් ඉඩමක්‌ තිබුණි. සවස්‌ කාලයට නිර්මලා මෙම ඉඩමට යන්නේය. ඉඩමේදී ඇය ඝාතනය කොට නිවස තුළට ගෙනවිත් දැමුවාද යන්න සැකයක්‌ ද ඇති වී තිබුණි

නිර්මලාගේ ඇඳුම්වල හා බිම විසිරී තිබූ ලේ පැල්ලම්වල ස්‌වභාවය පරීක්‌ෂා කිරීම ඉතා වැදගත් වන්නේය. නිර්මලාගේ ඇඳුම්වල තිබූ ලේ පැල්ලම් ඉහළ සිට පහළට විසිරි තිබුණි. ඒ අනුව පහරදීම වන අවස්‌ථාවේ නිර්මලා සිටිගෙන සිට ඇති බව අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කරගනු ලැබීය. ඒ විතරක්‌ නොව යම්කිසි පුද්ගලයකුට ආයුධයකින් පහරදී දෙවැනි වතාවට පහරදී ආයුධය ගන්නා විට එහි ඇති ලේ බිංදු විසිරීමට ලක්‌වන්නේය. නිර්මලාගේ සිරුර තිබූ ස්‌ථානයේ බිංදු ආකාරයට ලේ පැල්ලම් කිහිපයක්‌ බිත්තිවල සටහන් වී තිබුණි. වහලයේ සිවිලිමේද බිංදු ආකාරයෙන් ලේ පැල්ලම් කිහිපයක්‌ තිබුණේය.

නිර්මලා නිවස තුළදීම ඝාතනය කොට ඇති බැව් ලේ පැල්ලම් නිරීක්‌ෂණය කිරීමේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා තහවුරු කරගත්තේය. එමෙන්ම නිර්මලාට පහරදුන් ආයුධය කුමක්‌ද යන්න තහවුරු කරගත යුතු විය. නිර්මලාගේ දෑත්වල තිබූ තුවාල අධිකරණ වෛද්‍යවරයා විසින් සියුම් ලෙස නිරීක්‌ෂණය කළේය. සාමාන්‍යයෙන් කෙනෙකුට පහරදෙන විට එම පහරදීම වලක්‌වාලීමට කටයුතු කරන්නේය. බොහෝ විට ඒ සඳහා යොදා ගන්නේ දෑත්ය. නිර්මලාද තමන්ට පහරදෙන විට ඉන් බේරිම සඳහා දෑත් භාවිතා කර ඇත්තේය. නිර්මලාගේ දෑත්වල තිබූ තුවාල ආරක්‌ෂිත තුවාල විය. නිර්මලා මෙකී පහරදීම වන අවස්‌ථාවේ හොඳ සිහිකල්පනාවෙන් සිට ඇති බව ආරක්‌ෂිත තුවාල පරීක්‌ෂා කිරීමෙන් අධිකරණ වෛද්‍යවරයා තහවුරුකර ගත්තේය. ඇයගේ ගෙලෙහි තිබූ තුවාල ඉතා ගැඹුරට කැපී තිබුණි. තුවාල දිගටි හා වක්‍ර අයුරින් වූ තුවාල විය. තුවාලවල පළල හා දිග අනුව නිර්මාලාට පහරදී ඇත්තේ මන්නා වර්ගයේ පිහියකින් බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය. තුවාලයේ ගැඹුර, තුවාලයේ දෙකොණ කැපී තිබෙන අයුරු, තුවාලයේ අවට ඇති ලක්‌ෂණ තැලීම් සීරීම් පිළිබඳ සලකා බැලීමෙන් පසු පහරදුන් ආයුධය පිළිබඳ යම්කිසි මතයක්‌ පළපුරුදු අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ හැකිවිය. නිර්මලාගේ නිවසේ මන්නා පිහියක්‌ තිබුණද එහි කිසිදු ලේ පැල්ලමක්‌ නොවීය.

නිර්මලාගේ ගෙලෙහි සහ දෑත්වල තිබූ තුවාලවල ලක්‌ෂණ හා මෙම මන්නා පිහිය නිරීක්‌ෂණය කිරීමේ දී නිර්මලාට පහරදී ඇත්තේ මෙම වර්ගයේ මන්නා පිහියකින් බව අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්‌ෂණය විය. නිර්මලාගේ නිවසේ තිබූ මන්නා පිහිය සෝදා තිබුණි. පොලිසිය විසින් මෙම මන්නා පිහිය ඩී.එන්.ඒ. පරීක්‌ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළේය.

තුවාලවල දිග පළල ගැඹුර ඝණකම අනුව පහරදුන් ආයුධය දෙපැත්තම කැපෙන එකක්‌ද තනි තලයක්‌ද? මහත එකක්‌ද, බර එකක්‌ද, දිග තලයක්‌ ද කියලා කියන්න පුළුවන්. ඩී.එන්.ඒ. පරීක්‌ෂාවෙන් ද එය තහවුරු වුණා. මෙම තැනැත්තියගේ ගෙලට පහරදීලා තමයි ඇය මරා දමලා තිබුණේ. ගෙලෙහි කැපුම් තුවාල හතරක්‌ තිබුණා. මෙවැනි ඝාතනවලදී අපරාධය වූ ස්‌ථානය තහවුරුකර ගැනීම ඉතා වැදගත්. ගෙලෙහි තිබූ ප්‍රධාන රුධිර නාළ දෙකක්‌ කැපිලා තිබුණා. ස්‌වසනනාළය කැපිලා තිබුණා. මොළයට රුධිරය සපයන ප්‍රධාන ධමනියක්‌ කැපිලා තිබුණා. එවැනි අවස්‌ථාවකදී විශාල වශයෙන් රුධිරය වහනය වෙනවා. අධික ලෙස වූ රුධිරවහනයෙන් තමයි මෙම තැනැත්තිය මියගොස්‌ තිබුණේ යෑයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා සඳහන් කළේය.

ඉක්‌බිත මෙකි ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි. පොලිසිය විසින් පොලිස්‌ නිල සුනඛයකු සිද්ධිය වූ ස්‌ථානයට රැගෙන ආවේය. පොලිස්‌ නිල සුනඛයා ඝාතකයාගේ නිවසේ නතර විය. ඒ සමඟ මොහු දිව යන්නට විය. පසුව පොලිස්‌ නිලධාරීන් විසින් ඝාතකයා අල්ලාගනු ලැබීය. අපි ඝාතකයාට සිරිපාල යෑයි කියමු. සිරිපාල එදිනෙදා කුලීවැඩ කිරීමෙන් ජීවත් වූ අයෙකි. නිර්මලාගේ වත්තේ පොල් කැඩීම, වත්තේ වල් නෙළීම ආදී කටයුතුද කරනු ලැබුවේ සිරිපාල විසිනි. සිරිපාල අවිවාහකයෙකු විය. නිර්මලාගේ නිවසට මදක්‌ දුරින් පිහිටි කටුමැටි ගැසූ නිවසක ඔහු තනිවම පදිංචිව සිටියේය. මීට ඉහතදී මොහු රාත්‍රි කාලයේදී නිවෙස්‌වලට රිංගා පොලිසියටද හසුවී තිබුණි. ඇතැම් අවස්‌ථාවලදී නිවෙස්‌වල වැල්වල තිබූ කාන්තාවන්ගේ යට ඇඳුම් ද මොහු රැගෙන ගොස්‌ තිබුණි. මේ අතර නිර්මලා පමණක්‌ නිවසේ සිටින බවට සිරිපාල දැන ගන්නට ලැබුණි. ඔහු නිර්මලාගේ නිවසට රිංගීමට තීරණය කළේය. ඔහු රැබෝවීගෙන එන විට නිර්මලාගේ නිවසට ඇතුල්විය. නිර්මලාට අතවරයක්‌ කිරීමට මොහුට අවශ්‍ය විය. ඔහු නිර්මලා සිටි කාමරයට ඇතුල්විය. නිර්මලා රාත්‍රි ඇඳුමින් සැරසී සිටියාය. ඒ සමග සිරිපාල නිර්මලා අසලට ගොස්‌ ඇය බදා ගත්තේය. තමන් බදාගෙන සිටින්නේ සිරිපාල බවට නිර්මලාට හඳුනා ගැනීමට වැඩි වේලාවක්‌ ගියේ නැත. ඇය සිරිපාල සමග පොර බැදුවාය. මේ නිසා සිරිපාලට බියක්‌ මෙන්ම ලැඡ්ජාවක්‌ ද ඇති විය. නිර්මලා මෙලොවින් තුරන් කිරීමට සිරිපාල ක්‌ෂණිකව තීන්දු කළේය. නිවසේ තිබූ මන්නා පිහියගත් සිරිපාල නිර්මලාගේ ගෙලට කොටාගෙන ගියේය. සිරිපාලගෙන් බේරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. අවසානයේ කාමාතුරයකු නිසා නිර්මලා සිය ජීවිතයෙන් වන්දි ගෙව්වාය.

ලලිත් චාමින්ද
« PREV
NEXT »

Facebook Comments APPID