තරුණයකු සහ තරුණියක රහසේ පැන ගොසින් විවාහ වීම සහ තරුණියක පැහැරගෙන ගොසින් විවාහ කර ගැනීම ඉතිහාසයේ පටන් ලොව පුරා දකින්නට ලැබෙන්නකි. මනමාලිය පැහැරගෙන යැම අදටත් මධ්‍යම ආසියාව, කොකේසස් කලාපය, අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල සහ ආසියාවේ මොං ජනතාව, මෙක්‌සිකෝවේ සෙල්ටාල් ජනතාව සහ යුරෝපයේ රොමානි ජනතාව අතර බොහෝ ලෙස දකින්නට ලැබේ. මනමාලියක පැහැරගැනීම පිටුපස ඇති පෙළඹවීම ප්‍රදේශය අනුව වෙනස් විය හැකි වුණත් වර්තමානයේ දකින්නට ලැබෙන බොහොමයක් සිදුවීම්වල විවාහය උදෙසා තරුණියක අල්ලා ගැනීමට ගැවසෙන පුද්ගලයා වැඩි වශයෙන්ම දුප්පත්කම, රෝගාබාධ, අයහපත් කල්ක්‍රියාව හෝ සාපරාධිභාවය ආදී මොනයම් කාරණයක් නිසා හෝ පහළ සමාජ තත්ත්වයක් ඇති අයෙකි. මේ අතර පසුගිය මාසයේ තරුණියක නොව තරුණයකු පැහැරගෙන ගොසින් බිය වද්දා බලහත්කාරයෙන් විවාහ කරවූ පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයෙන් වාර්තා කෙරුණි.
29 හැවිරිදි විනෝද් කුමාර් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. ඔහු දෙසැම්බර් මස එක් දිනක බිහාර් ප්‍රාන්තයේ පැට්‌නා නගරය වෙත පැමිණියේ මිතුරකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමටය. නමුත් ඔහුට සිදුවුණේ කිසිම දිනක හමුවී නොතිබුණු තරුණියක සමඟ බලහත්කාරයෙන් විවාහ කරලීමකට මුහුණදෙන්නටය. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ වීඩියෝ දර්ශනයක විවාහ චාරිත්‍ර සිදුකරන අතරවාරය පුරාවට ගැලවී යැමට මඟක් නැතිව අසරණ වූ මනමාලයා ශබ්ද නඟා හඬා වැටෙන ආකාරය පවා දකින්නට හැකිය. විවාහ උත්සවයට සහසහභාගි වී සිටි මනාලියගේ පාර්ශ්වයේ කාන්තාවන් ඔහුගේ කඳුළු පිසදමන ආකාරය ද දකින්නට ලැබේ.
අපි ඔයාව විවාහ කරවනවා විතරනේ ඔයාව එල්ලලා මරණවා නෙවෙයිනේ. ඔහොම කෑ ගහලා අඬන්නේ ඇයි? කට වහගන්නවා' යෑයි මනමාලියගේ නෑදෑයන් පවසනු පසුබිමෙන් අසන්නට හැකිය.
විනෝද් ඔවුන්ගේ උපායේ පැටලුණේ මිතුරකු නිසාය. ඔහු සහභාගි වීමට පැමිණි විවාහ උත්සවය පැවතියේ සවස් වරුවේය. තමා හමුවීමට අවශ්‍ය බව පවසමින් සුරේන්ද්‍ර නම් ඒ මිතුරා කෙටි පණිවුඩ කීපයක්‌ම එවා තිබූ නිසා ඔහු උත්සවයට සහභාගි වීමට පෙර සුරේන්ද්‍රව හමු වීමට සිතුවේය. ඔහු හමුවීමට ගිය විට ඔහුගේ පවුලේ අය විනෝද්ට පහරදී තුවක්‌කු පෙන්වා බිය වද්දා තිබේ. පවුලේ අයකු විනෝද්ගේ හිසට පිස්‌තෝලයක් තබා සුරේන්ද්‍රගේ සොහොයුරිය විවාහ කර ගන්නා ලෙස අණ දී තිබේ. කිසිදිනක හමුවී නොතිබුණු ඇය සමඟ විනෝද් දුරකථනයකින් හෝ කතාකර නොතිබුණු අතර ඇගේ නම පවා නොදත්තේය. විනෝද්ට බලහත්කාරයෙන්ම මඟුල් ඇඳුම් අන්දවා විවාහයේ චාරිත්‍ර සිදු කෙරුණි. විවාහයෙන් පසුව ඔහු රාත්‍රිය පුරා කාමරයක සිර කොට තැබුණි.
විනෝද් කුමාර්ගේ සොහොයුරා වන අවදේශ් කුමාර් පවසන ආකාරයට තම සෙහොයුරාගේ විවාහය පිළිබඳව ඔහු දැනගෙන තිබුණේ පසුදින නොදන්නා අංකයකින් ලැබුණු දුරකථන ඇමතුමකිනි. ඔහු ඉක්‌මනින් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ අතර පසුව පොලිසිය විසින් විනෝද් කුමාර් බේරාගෙන විත් පවුලේ අයට භාරදුන් බව කියෑවේ. කොහොම නමුත් පොලිසියේ පවා අවවාදය වී තිබුණේ විවාහය චාරිත්‍රානුකූලව සිදුකර ඇති නිසා එය පිළිගන්නා ලෙසටය. මනාලියව පිළිගන්නා ලෙසට සුරේන්ද්‍ර සහ පවුලේ අය විසින් විනෝද්ගේ පවුලේ අයට දුරකථනයෙන් තර්ජනය කර ඇති බවට ද වාර්තා වේ.
විනෝද්ගේ විවාහය වැනි බලහත්කාරයෙන් විවාහ කිරීම ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයේ බටහිර ප්‍රදේශවලට සහ නැඟෙනහිර උත්තර් ප්‍රදේශයට අමුතු දෙයක් නොවේ. මනමාලියගේ පවුලේ උදවිය සුදුසු මනමාලයකු පැහැර ගෙන ගොසින් පසුව බලහත්කාරයෙන්ම ඔහුව මනමාලියට විවාහ කරදීම කරති. එසේ කරනුයේ දෑවැද්ද වෙනුවෙන් දරන්නට සිදුවන අධික වියදම දරාගැනීමට නොහැකි දුප්පත් පවුල් විසිනි. මේ තරුණයකු පැහැරගෙන ගොසින් විවාහ කරදීමේ සම්ප්‍රදාය සලකා බැලීමෙදී බොහෝ විට පෙනෙන කාරණයක් වනුයේ එම විවාහ අවලංගු කිරීමේ හැකියාව බොහෝ අඩු බවයි. මනමාලයා නීතියේ පිහිට පතන්නට වූවහොත් බොහෝ කාලයක් ඇදී යන නීතිමය පොරයකට එළඹෙනවා පමණක් නොව ඇතැම් විට ඉන්දියානු දෑවැදි නීතිය යටතේ අපරාධ චොදනාවන්ට ද ලක්‌වන්නට සිදුවේ.
දෑවැදි සිරිතට විරුද්ධ වූ බලහත්කාරයෙන් විවාහ කරලීම මුලින්ම කරළියට පැමිණියේ 1980 ගණන් වලදී ය. එතැන් පටන් එය ඉහළ කුලයේ අය අතර සමාජ අනුමැතියට බඳුන් වී තිබේ. විශේෂයෙන්ම මනමාලයාගේ පාර්ශ්වය විසින් විශාල දෑවැද්දක් ඉල්ලා සිටින උත්තර ප්‍රදේශය සහ බිහාර් යන ප්‍රාන්තවල මේ විවාහ ක්‍රමය කැපී පෙනේ. ඒ වගේම මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් කුලියට පැහැරගැනීමේ යෙදෙන සංවිධානාත්මක කල්ලි ද බිහි වී තිබේ. මනමාලයාගේ පාර්ශ්වය විශාල දෑවැද්දක් ඉල්ලා සිටින විට හෝ දෑවැද්ද මත විවාහයට එළඹීම අතහැර දමන විට මනමාලියගේ පාර්ශ්වය සංවිධානාත්මක කල්ලියක උපකාරයෙන් මනමාලයාව පැහැරගෙන ගොස් විවාහ සිදු කිරීමේ ක්‍රියාමාර්ගයට එළඹේ.
බොහෝ විට පැහැර ගැනීමේ ඉලක්‌කයට ලක්‌වන්නේ ඉන්දියානු පරිපාලන සේවයේ විභාගයට පෙනී සිටි, වෛද්‍ය හෝ ඉංජිනේරු උපාධියක් හිමි නැති නම් රජයේ ස්‌ථාවර රැකියාවක් හිමි තරුණයන්ය. ඔවුන්ව යටත්කර ගැනීමට තුවක්‌කු එල්ල කිරීම සහ පැන දිවීමට නොහැකි ලෙස ඉඟ වටා ලණුවකින් බැඳීම සාමාන්‍ය දෙයකි. බලහත්කාර විවාහයෙන් පසුව මනමාලයාට විවාහයෙන් මිදෙන්නට කටයුතු කළ හැකි නමුත් එය බොහෝ කල් යන නීතිමය සටනකි. විවාහක කාන්තාවගේ පැත්තට වැඩි වාසියක් ඇති ඉන්දියානු දෑවැදි නීතිය යටතේ ඔහු වැරදිකරුවකු වීමට ද පුළුවන. පැහැරගැනීමට සංවිධානය වූ කල්ලි අමතර ගාස්‌තුවක් මත විවාහයෙන් පසුව මනමාලයා යටත්ව සිටීම පවා සහතික කරලන අවස්‌ථා තිබේ. කොහොමටත් මේ විවාහ සමාජයේ පිටතට වාර්තා වන්නේ බොහෝ අඩුවෙනි. බොහෝ විට පැහැරගත් කල්ලියට ඇති බය නිසාම විවාහය පවත්වා ගෙන යැම කෙරේ. ඉන්දියා ටුඩේ වාර්තාවකට අනූව 2016 දී තරුණයන් 3000 කට වඩා පැහැරගෙන ගොසින් බිය වද්දා බලහත්කාරයෙන් විවාහ කරදී තිබේ.
නිල්මිණි රාජපක්‍ෂ රදලගේ