නුවරඑළිය දිස්ත්‍රිකයේ රාගල සිට පිළිකා රෝගීන්ගේ සහ ඥාතිහිතවතුන්ගේ පහසුව සඳහා මහරගම අපේක්ෂා රෝහල තෙක් ධාවන අරඹා ඇති වලපනේ ඩිපෝවට අයත් ලංගම බස් රථය සඳහා අතරමගදී මැර තර්ජන සහ ගල් ප්‍රහාර එල්ල වන බව වාර්තා වේ.
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට පසුගිය ජනවාරි 2දා සිට රාත්‍රී 11.30ට වලපනෙන් පිටත් වන මෙම බස් රථය පසුදා පෙරවරු 6.30ට මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණෙන අතර නැවත එදින පෙරවරු 11.30ට ගමන් ආරම්භ කර පස්වරු 6.00ට වලපනේට ළගා වනු ඇත.
මෙම බස් රථය සඳහා ජනවාරි 4දා කොට්ටාවේදීත් ජනවාරී 9දා කෑගල්ලේදීත් ජනවාරි 10දා පන්නිපිටියේදී ත් 14දා මහනුවරදීත් මැර තර්ජන සහ ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර එයින් එම බස් රථයට හානි සිදුවී තිබේ.
පිළිකා රෝගීන් වෙනුවෙන් කැපවූ මෙම බස් රථයට මෙලෙස අමානුෂික ප්‍රහාර එල්ල කරනුයේ එම මාර්ගයේ ගමන් ගන්නා වෙනත් බස් රථ හෝ කාර්යාල ප්‍රවාහන සේවා පවත්වාගෙන යන්නවුන් විසින් මෙහෙයවන මැර කණ්ඩායම් විසින් බව ලංගම සේවකයන් පවසන අතර එම ප්‍රහාර සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන වලට ද පැමිණිලි කොට ඇතත් මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොමැති බව එම සේවකයෝ සඳහන් කරති.
එමෙන්ම එම බස් රථයේ ගමන්ගන්නා මගීන් ප්‍රකාශ කරනුයේ මෙබඳු අනාරක්ෂිත තත්වයක් මුල් කොට මෙම බස් රථයෙන් පිළිකා රෝගීන් ප්‍රවාහන කිරීම බෙහෙවින් අන්තරාකාරී ක්‍රියාවක් බවය.