BREAKING NEWS
latest

728x90

468x60

දොස්‌තරගේ ඒටීඑම් කාඩ්පත සොරාගෙන එක්‌ලක්‍ෂ පනස්‌දහසක බඩුගත් රියෑදුරයි බිරිඳයි මාට්‌ටු

බියගම රජයේ රෝහලේ වෛද්‍යවරයකුගේ නිල මෝටර් රථය තුළ තිබූ ඒ.ටී.එම්. බැංකු කාඩ්පත සොරාගෙන එයින් රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ වටිනා භාණ්‌ඩ මිලදී ගත් රියෑදුරකු හා ඔහුගේ අනියම් බිරිඳ බියගම පොලිසිය මගින් (30 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

තවද එම අනියම් බිරිඳ විසින් මිලදී ගනු ලැබූ භාණ්‌ඩ ද අනියම් බිරිඳ නවාතැන් ගෙන සිටින බියන්විල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇත.

එම රියෑදුරා බියගම රෝහලේදී හා අනියම් බිරිඳ බියන්විල ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගත්හ.

පසුගිය 29 වැනිදා එම වෛද්‍යවරයා විසින් සිය නිල මෝටර් රථය සර්විස්‌ කිරීම සඳහා එම රෝහල් භූමියේ පිහිටි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රියෑදුරෙකුට පවරා තිබේ. මේ අවස්‌ථාවේ එම රියෑදුරා විසින් එම මෝටර් රථය බියගම ප්‍රදේශයේ වාහන සර්විස්‌ කරන ස්‌ථානයකට රැගෙන යන විට රථය තුළ තිබූ එම වෛද්‍යවරයාගේ ඒ.ටී.එම්. කාඩ්පත මෙසේ සොරාගෙන තිබෙන බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවිය.

එම රියෑදුරා විසින් අනියම් බිරිඳට දුන් එම ඒටීඑම්. බැංකු කාඩ්පත භාවිත කරමින් කඩවත, මීගමුව, මහබාගේ හා යක්‌කල යන ප්‍රදේශවල සුපිරි සාප්පුවලින් රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ වටිනා ඇඳුම්, පැළඳුම්, සුවඳ විලවුන් හා රන් ආභරණ මිලදී ගෙන තිබේ.

මේ අතර වෛද්‍යවරයා තම මෝටර් රථය නැවත ලබා ගැනීමට එම වාහන සර්විස්‌ කරන ස්‌ථානයට ගිය අවස්‌ථාවේ තම රථය තුළ තිබූ ඒටීඑම් බැංකු කාඩ්පත දක්‌නට නොතිබිණි. මේ බව වෛද්‍යවරයා විසින් පෙරේදා (30 වැනිදා) බියගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟම වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් විසින් එම රියෑදුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කොට මෙය අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

එම අනියම් බිරිඳ විසින් සාප්පුවලින් භාණ්‌ඩ මිලදී ගන්නා ආකාරය එම සාප්පුවල සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිවල සටහන් වී තිබූ අතර මේ දෙදෙනා පැය 24 ක්‌ ඇතුළත අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට හැකි වී ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID