ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල අද බරපතළ ගැටලුවක් ලෙස වඳභාවය හෙවත් දරුවෙක් බිහිකරලීමේ හැකියාව නොමැති වීම පෙන්වා දිය හැකි තත්ත්වයට පත්ව තිබේ.
ලංකාවේ වඳභාවයට පත්ව ඇති කාන්තාවන් ප්‍රතිශතයක් ලෙස සියයට පහකි. ඒ අතරින් සියයට තිස්‌තුනක් එසේ වඳභාවයට පත්ව ඇත්තේ, පිරිමින්ගේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් දෙදෙනකු විසින් කළ සමීක්‌ෂණයකින් සනාථ වී තිබේ.
මෙය සමාජ ගැටලුවක් බවට පත්ව, විවාහයන් දෙදරා යැමටත්, සිය දිවි හානි සිදුකර ගැනීමටත්, වෙනයම් පීඩාවන්ට නතු වීමත් ඇතුළු අතුරු අනිසි ඵල ඇති වීමේ ප්‍රවනතාවය මත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ, ජන්‍ය මුල්‍ය විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන යන මහත්වරු සමීක්‌ෂණයක් සිදුකොට වඳභාවයට හේතු කවරක්‌ද යන්න සොයා බැලීමේ වැදගත් කාර්යයකට අත තැබූයේ දැනට වසර පහක සිටය.
එම සමීක්‌ෂණ, පරීක්‌ෂණ හා නිගමනයන්ට අනුව සනාථ වී ඇත්තේ, ගැහැණියක වඳභාවයට පත්වන්නේ, තමන්ගේ සිරුරේ ඇති කිසියම් රෝග තත්ත්වයක් නිසා පමණක් නොවන බවය. එම කාරණා මත, විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා කාන්තාවන්ගේ සිරුරේ අභ්‍යන්තර රෝගී තත්ත්වයන් මත වඳභාවයට පත් වීම සොයා බලා පිළියම් කිරීමටත්, පිරීමින්ගේ ඊට අදාළ වන රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩිදුර සොයා බැලීමටත් ඒ සඳහා හැකි පමණ පිළියම් යෙදීමට, විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතාත් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය උදය පෙතියාගොඩ මහතා දැක්‌වූ අදහස් මෙසේය.
වඳභාවය කියන්නේ (infertility) විවාහ පත්වූවද, දරුවන් නොලැබ සිටීම කියන කාරණාවයි. මෙයද වර්ග තුනකට බෙදා දක්‌වන්න පුළුවන්.
1. කලලයක් හටගන්නේම නැති
2. කලලයක් හටගත්තද කලලය වර්ධන වී හෝ නොවී ගබ්සා වීම
3. කලලයක් හටගැනීමට ප්‍රමාද වීම යනු එම වර්ග තුනය.
මේ වර්ග තුන පිළිබඳවම අප සාකච්ඡා කළ යුතු වන්නේ, මේ වන විට ලංකාවේ විවාහ පත් කාන්තාවන් විසිදෙනකුගෙන් එක් අයකු මෙම ගැටලුවලට ලක්‌ව සිටින නිසායි.
දරුවකු වදන්න බැරි කාන්තාවක් මේ සමාජයේ මොන තරම් පීඩාවන්ට ගොදුරු වනවාද කියා දන්නේ එම තත්ත්වයට මුහුණ දී සිටින උදවියම තමයි. ඒ අතරිනුත් මෙම ප්‍රශ්නය මත, යල් පැන ගිය මති මතාන්තර, සමාජ පිළිගැනීම හෝ විවිධ අඩන්තේට්‌ටම්වලට ලක්‌වන්නේම කාන්තාවන් බව අපි මතක තබා ගන්න ඕනෑ.
නමුත්, පිරිමින් හෙවත් තමන්ගේ ස්‌වාමිපුරුෂයා නිසා ස්‌වාමිපුරුෂයාගේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝග තත්ත්වයන් නිසා, වඳභාවයට ලක්‌ව සිටින කාන්තාවන්ට කිසියම් පිළිසරණක් විය හැකි නම්, රෝග තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැකි නම්, එය අප ලබන ජයක්. මොකද දරුවකු බිහිකරන කාන්තාවක් ලෝකයට සම්පතක්.
පිරිමින් අතුරින් බොහෝ දෙනා අද වන විට, පරිසර තත්ත්වයන්, ආහාර පාන නිසා වඳභාවයට පත්ව සිටිනවා. මේ බව සනාථ වූ කරුණු කිහිපයක්‌ම අප සතුයි. පිරිමින්ගේ ඊස්‌ට්‍රජන් (oestrogen) හෝමෝනය වැඩිදුර ශ්‍රාවය වීම මත, පිරිමින් වඳභාවයට ලක් විය හැකියි. සෝයා, කුකුළු මස් වැඩිපුර ආහාරයට ගැනීම මෙයට එක් හේතුවක්.
පුරුෂයාගේ ධාතුවල පිරිමි සෛල නොමැති වීම තවත් එක් හේතුවක්. ඊට බෙහෙවින්ම බලපාන්නේ හෝමොන්වල බලපෑමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ, (azoospermia) ආසූස්‌පේමියා නමින්. ටෙස්‌ටොස්‌ටෙරෝන් (testosterone) හෝමෝනය අඩුවීම හෝ නැතිවීමත්, ප්‍රොලැක්‌ටින් (prolactin) හෝමෝනය වැඩිවීම මත ඇතිවන තත්ත්වය මෙම රෝගය ඇති වෙනවා.
කම්මුල්ගාය නමැති වෛරස් ආසාදනය පිරිමි දරුවකුට වයස අවුරුදු දොළහකට පසුව වැලඳුන විට වෘෂණ කෝෂ ආසාදනය විමෙන් ද පසුකාලීනව පිරිමින් වඳභාවයට පත්වෙනවා.
පුරස්‌ථිග්‍රන්ථය ආසාදනය වනවාය කියන්නේ, ශුක්‍රාණුවලට විෂබීජ ඇතුළු වෙනවා කියන තත්ත්වයයි. මෙය ප්‍රොස්‌ටටයිසීස් (prostititis) වන අතර, ඉන් ශුක්‍රාණුවලට පිටතට යැමට ඇති ඉඩ ඇහිරීමක් සිදු වෙනවා.
කෝෂවල උෂ්ණත්වය වැඩිවීම, කෝෂවල නහර කැරකීයැම ආදී තත්ත්වයන් මත ද පිරිමින් වඳභාවයට පත්ව සිටිනවා.
දැන් දැන් විශාල වශයෙන් දක්‌නට ලැබෙන තවත් කාරණයක් තමයි, කෝෂ තුවාල වීම. මෙය සිද්ධවන්නේ, වෘෂණ කෝෂ වෙත පහරක් එල්ල වී ඊට නිසි ප්‍රතිකාර නිසි කලට නොලබා සිටීම මතයි. පසුකාලීනව කෝෂවල නහර නිසි පරිදි ක්‍රියානොකරන්නේ ඇයි දැයි පරීක්‌ෂා කිරීමේදී මෙම තත්ත්වය හඳුනා ගත හැකි වුවත් එය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වෙනවා. බෝලයක් වැදීම, කොතැනක හෝ තදින් ගැටීම පහරක් වැදීම වැනි කාරණා නිසා මෙවන් තත්ත්වයක් ඇති විය වුවද යළි ප්‍රකෘති මට්‌ටමට පත් කරගත නොහැකි වන අවස්‌ථාද දක්‌නට පිළිවන්.
අතීතයේ පිරිමින් දැඩි වෙහෙස මහන්සි වී කටයුතු කළ උදවියයි. ඒ අයගේ කාය ශක්‌තිය දැඩි බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. පිරිමියකුගේ ධාතු සංඛ්‍යාත්මකව වැඩිවන්නේ ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින්නේ නම් පමණයි. ඒ වගේම ධාතු කාර්යක්‌ෂම ලෙස දඟලන්නේ නම් කලලයක් ඇති වීමට එහි ලොකු උදව්වක් ලැබෙනවා. ධාතු සංඛ්‍යාත්මකව අඩුවීම දැඟලීම අඩුවීම කියන කරුණු මතද, වඳභාවයට ලක් වූ පිරිමින් අපට සමාජයෙන් මුණගැසෙනවා.
මෙහි තිබෙන තවත් බැරෑරුම් තත්ත්වයක් තමයි මෙවැනි පිරිමින් විවාහ වීමට පෙර හඳුනා ගැනීමට නොහැකි වීම. විවාහයට පෙර හඳුනා ගත හැකි නම්, නිරෝගි මට්‌ටමට ගත හැකි අවස්‌ථාවත් දරුවන් බිහිකළ හැකි කාලය තීරණය කළ හැකි වීමත් මත කටයුතු පහසු වෙනවා. කලින් ප්‍රතිකාර ලබා දෙනවාය කියන්නේ, දරුවකු බිහිකිරීම සඳහා දායකත්වය ලබා දීමට හැකි වෙනවා කියන එකයි.
මේ අතරින් කිසියම් රෝග තත්ත්වයකට බඳුන්ව ඇති පිරිමින් මුණගැසුණු විට අපි නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔවුන්ව යොමු කරනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙම පර්යේෂණයන් දිගින් දිගටම විවිධ කාරණා ඔස්‌සේ, පවත්වා ගෙන යන බව මතක් කළ යුතුයි. මොකද දැන් අනුමානයන් තිබෙනවා ඩෙංගු රෝගය වැළඳුන පිරිමින්ගේ පුරුෂ ධාතු විනාශ වී ඇති බවට. අපගේ පරීක්‌ෂණ මේ සඳහා පුළුල් ලෙස සිදු කරමින් පවතිනවා.
මේ ලෝකය පවතින්නේ නව බිහිවීම් එක්‌ක. අලුතින් දරුවෙක් දැයට එක්‌කාසු වෙන වාරයක් වාරයක් පාසා ලෝකය නැවුම් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ නව බිහිවීමක් මත... එබැවින්ම අප ඒ සඳහා කළ හැකි කළ යුතු සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට උනන්දු විය යුතුයි. එය අපේ, යුතුකමක් ...! වගකීමක්.....!