BREAKING NEWS
latest

728x90

468x60

බයිට්, අරක්කු, සිගරට් ඉල්ලන අමුතු දෙවි කෙනෙක්

අපි උදේ හවස දෙවියන් බුදුන් වඳිනවා. දෙවියන්ට බුදුන්ට පහන පත්තු කරනවා. අපි ජීවත් වෙන්නේ අපේ පාඩුවේ. අපි කාටවත් වැරැද්දක් හිංසාවක් කරන්නෙ නෑ. ඒත් අපිට හරියන්නෙ නෑ. කිසිම දියුණුවක් නෑ. හැමදාම ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න... ලෙඩදුක් කරදර... කවදාවත් හිතේ සැනසිල්ලක් නෑ... දෙවියන්ගේ බුදුන්ගේ පිහිටක් අපිට නෑ... දෙවියෝ අහක බලන්නෙත් අපිට.

බුදුන්ට දෙවියන්ට කොතෙක් පුදවර දුන්නත් බුදුන්ගෙන් දෙවියන්ගෙන් කිසිදු පිහිටක් නැතැයි දෙවියන්ටත් දෙස්දෙවොල් තියන මිනිසුන් අපි දැක ඇත්තෙමු.

දේවගැතිතුමනි, ඇතැම් මිනිසුන්ට දෙවියන්ගේ පිහිට ලැබෙන බව කියන්නේත් ඇතැම් මිනිසුන්ට දෙවියන්ගේ පිහිට නොලැබෙන බව කියන්නේත් ඇයි?

බුදුන්ට දෙවියන්ට වඳිද්දී පුදද්දී අනුගමනය කළයුතු පිළිවෙත් තියනවා. ඔන්න බුදුහාමුරුවනේ මම වැන්දා, පහන තිබ්බා. ඔන්න දෙවියනේ මම පහන තිබ්බා වැන්දා න්‍යායෙන් බුදුන්ට දෙවියන්ට වැඳලා පුදලා වැඩක් නෑ. සමහරු ඉන්නවා ඒ අයට බුදුන් දෙවියන් මතක් වෙන්නේ තමන්ට කරදරයක්, පීඩාවක්, ලෙඩක් දුකක් හැදුනාම විතරයි. එහෙම දෙයක් වුණාම පන්සල් යනවා දේවාලයට යනවා කෝවිලට යනවා පුද පඬුරු දෙනවා බාරහාර වෙනවා. අනේ බුදුහාමුරැවනේ, අනේ දෙවියනේ මට මේ මේ දේ කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ අයට දෙවියන් බුදුන් සිහිපත් වෙන්නේ යමක් වුවමනා වූ විට විතරයි.

සමහර මිනිසුන් ඉන්නවා ඉතාම භක්තියෙන් දෙවියන් බුදුන් වඳිනවා පුදනවා. පූජාවන් කරනවා. බාරහාර වෙනවා. ඒවා ඔප්පු කරනවා. දෙවියන්ට ප්‍රිය විදිහට ජීවත් වෙනවා. ඒ අය දියුණු වෙනවා. දවසින් දවස යසඉසුරු ලබනවා. මේ විදිහට දියුණු වෙද්දී ඉසුරු ලබද්දී ලොකු ලොකු මිනිසුන් ආශ්‍රය කරද්දී ලොකු ලොකු සාදවලට යද්දී වැඩරාජකාරි බහුල වෙද්දී සමහර අයට බුදුන් දෙවියන් අමතක වෙනවා. දෙවියන් බුදුන් කෙරේ තිබූ භක්තිය අතුරුදන් වී යනවා. වත්පිළිවෙත් කිරීම මඟහරිනවා.
හරක් මස්, ඌරු මස් මේ හැමදේම ගෙදර උයනවා, බදිනවා. මත්පැන් සාද පවත්වනවා. සල්ලි බලය වැඩිවෙන්න වැඩිවෙන්න තව තව දුරාචාරවලට ඇබ්බැහි වෙනවා. සල්ලි බලය දවසින් දවස ලැබෙද්දී සමහර අයට යුක්තිය අයුක්තිය අමතක වෙනවා. සාධාරණය අසාධාරණය අමතක වෙනවා. ඔවුන් අධ්‍යාත්මිකව පිරිහෙනවා. බුදුන් දෙවියන් කෙරේ තියෙන භක්තිය විශ්වාසය මඟහැරෙනවා. මම තරම් මිනිහෙක් ඉන්නවාද? සල්ලිවලට කරන්න බැරි දෙයක් තියෙනවාද කියන මානසිකත්වයට ආවම මිනිස්සුන්ට හොඳ නරක කළයුත්ත නොකළයුත්ත පින පව කුසලය අකුසලය තේරැම් ගන්න බෑ. ඔවුන් හැසිරෙන්නේ වල්මත් වූ උන්මත්තක ස්වභාවයෙන්. ආයෙත් ඒ අයට බුදුන් දෙවියන් සිහිවෙන්නේ සුව කරන්න බැරි අසනීපයක්, ධන හානියක්, ලෙඩක්දුකක් වුණාම. ඉතින් ඊට පස්සේ ඔළුව ගිනිගත්තා වගේ යනවා දෙවියන් ළඟට. අනේ දෙවියනේ කිය කියා දුක කීවට එහෙම මිනිස්සුන්ට දෙවියන් බලන්නේ සලකන්නේ පිහිට වෙන්නේ නෑ.

මම කලිනුත් කීවා එක දෙවිකෙනෙකුට ඉන්නවා මහා දේව සේනාවක්. ගහක් ගලක් පාමුල හරි හැමදාම දෙවියන් වෙනුවෙන් පහන තියෙනවානම් එතැනට දේවසේනාධිපති කෙනෙක් අරක් ගන්නවා. එක මොහොතකදී ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් කෝටි සංඛ්‍යාත ඉල්ලීම් දෙවියන්ගෙන් කරද්දී ඒවාට ඇහුම්කන් දෙන්නේ අර දේවසේනාවේ ඉන්න දේව සේනාධිපතිවරැන් ඇතුළු පිරිවර. භක්තියෙන් දෙවියන්ට වඳින පුදන පින්වත් දැහැමි මිනිසුන්ගේ පණිවිඩ දෙවියන් වෙතට අරගෙන යන්නෙ අර දේවසේනාව. ඒත් අර විදිහට විපත්තියකදී කරදරයකදී විතරක් දෙවියන් ළඟට එන මේ මිනිසුන් දිහා දෙවියන් බලන්නේ නෑ. එහෙම ගමනක් අපට යන්න බෑ. භෞතික සම්පත් විතරක් ජීවිතය කරගෙන අධ්‍යාත්මික ගුණාංග අමතක කරන මිනිසුන්ගේ ජීවිත එක පැත්තක් අසාර්ථක වෙනවා, කඩාවැටෙනවා. ඒත් ඒ ඇත්ත තේරුම් ගන්න මිනිසුන්ට බොහෝම කල්ගතවෙනවා. 

දෙවියකු කවදාවත් මනුස්ස ශරීරයකට එන්නේ නෑ. සත්දිනක් කුණුවෙච්ච සුනඛ කුණක් තරමට මිනිස් සිරුර මිනිසුන්ව අප්‍රියයි, පිළිකුල්. ඒත් අන්තයට ගිය විනෝදකාමි, සල්ලාල ජීවිත අත්හැරලා, කිලියෙන් තොරව ඉන්න දෙවියන් පුදන කෙනාට දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබන්න පුළුවන්. දෙවියන්ට ප්‍රිය ලෙස ජීවත්වෙන පුද්ගලයන්ට දෙවියන්ගේ සරණ ලැබෙනවා. එහෙම නැතුව දෙවියන්ට දුක කීව පලියට මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිට සරණ ලැබෙන්නේ නෑ. අනිත් කාරණය තමා අපට දෙවියන් රවට්ටන්න බෑ.

දේවගැතිතුමනි නිවෙසක බුදුන් දෙවියන් අදහනවා නම් එය කළ යුත්තේ කොහොමද? හැම දෙවිකෙනෙකුටම නිවෙසේදී වැඳුම් පිදුම් කිරීම සුදුසු ද?

නැහැ... හැම දෙවිකෙනෙක්ටම නිවෙස තුළ පුදපූජා කිරීම පහන් දැල්වීම කරන්නේ නෑ. ඒ ඒ දෙවියන් අනුව අනුගමනය කළ යුතු සම්ප්‍රදායන් තියෙනවා. ඒ ඇතැම් සම්ප්‍රදායන් නොකඩවා නිසියාකාරව ගෙදරදී කිරීම අසීරු වියහැකියි. 

විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, පත්තිනි දෙවියන්, සමන් දෙවියන් හා ගණ දෙවියන්ට නිවෙසේදී වැඳුම් පිදුම් කරන්න වඩාත් සුදුසුයි. යළි සම්බුදුවරයෙක් මේ විශ්වයේ පහළවනතෙක් සම්බුදු ශාසනයත් දහමට ළැදි පින්වන්ත මිනිස්සුත් රකින්නේ විෂ්ණු දෙවියන්. ඒක විෂ්ණු දෙවියන්ට බාරවූ වගකීමක්. කතරගම දෙවියන් තමා දියුණුව සලසන්නේ, යස ඉසුරු ලබාදෙන්නේ. පත්තිනි දෙවියන් තමා දරුවන් රකින්නේ. ලෙඩ දුක් පීඩා ආදී උපද්‍රවවලින් දරුවන් ආරක්ෂා කරන්නේ. ගණ දෙවියන් කියන්නේ ඥානයට අධිපති දෙවියන්. බුදුන් වහන්සේගේ පිළිමයට වම්පසින් විෂ්ණු දෙවියන්ගේ රෑපය තියන්නේ. දකුණු අත පැත්තෙන් කතරගම දෙවිරුව වඩාහිඳුවන්නේ. පත්තිනි දෙවියන්ගේ රූපය තබන්නේ ඊට පහළින්. ගණ දෙවියනුත් එහෙමයි. පත්තිනි දෙවියන් කාන්තා දෙවි කෙනෙක් වීම සහ බලය කතරගම, විෂ්ණු දෙවියන්ට සාපේක්ෂව අඩුවීම තමා ඊට හේතුව. 

සූනියම් දෙවියන්ට ගේ ඇතුළේ පහන පත්තු කරන්නේ නෑ. සූනියම් දෙවියන්ට පහන තියන්නේ ගේ මිදුලේ සුදුසු තැනක. අනිත් කරැණ කාන්තා පාර්ශවය සූනියම් දෙවියන්ට පහන තියන්නේ නෑ. එය කරන්නේ පිරිමි පාර්ශවය. ඒත් අපි හිතමු සූනියම් දෙවියන්ට පහන තැබූ පිරිමි පාර්ශවය හදිසියේ මිය ගියා කියලා. ඉන්පසු ඔහුගේ බිරිය අඛණ්ඩව තම ස්වාමියා කළ කාර්යය බාරගෙන පහන තිබ්බාට කමක් නෑ. එසේ නොවන හැම අවස්ථාවකම සූනියම් දෙවියන්ට පහන තැබිය යුත්තේ පිරිමියෙකු විසින්.
අනික් කාරණය නම් සූනියම් දෙවියන්ට පහන තියන්නේ රාත්‍රි කෑම කන්න ඉස්සර. ඉස්සර ගෙදර තාත්තාට මුලින් බත්එක බෙදලා දීලා තමා දරුවන්ට කන්න දෙන්නේ. ඒක සම්ප්‍රදායක් වගේ. මේකත් ඒ වගේම සම්ප්‍රදායක්. අනික් එක අපි පහන තියලා දෙවියන් එක්ක කතා කරන්න ඕනෙ. අපි හිතමු හෙට අපිට මළගෙදරක යන්න තියෙනවා. නැත්නම් හදිසි ගමනක් යන්න තියනවා කියලා. ඒනිසා ඒ දවසේ රෑ පහන තියන්න වෙන්නේ නෑ කියලා හිතමු. ඒක ඊට පෙර දින දෙවියන්ට පහන තියද්දී කියන්න.

සූනියම් අප්පච්චි... මට සමාවෙන්න හෙට මට මෙහෙම ගමනක් යන්න තියෙනවා. ඒ නිසා හෙට මට මේ පහන පත්තු කරන්න වෙන්නෙ නෑ. ඒත් සූනියම් අප්පච්චි මාව හෙට දවසෙත් රැකබලාගන්න. ආරක්ෂා කරන්න. ඒ විදිහට පහන පත්තු කරලා දෙවියන් හා කතා කරන්න. ඒ යන ගමනේදී ඔබට අතුරු ආන්තරාවක් වෙන්න තියෙනවානම් එය වළක්වා ආරක්ෂා කරනවා. හූනියම් දෙවියන්ට නිසියාකාරව පහන තියෙන ගෙදරක් හොර සතුරු උපද්‍රවවලින් නිරතුරැවම ආරක්ෂිතයි.

සමහරු අහනවා දොරින් දොරට ගමින් ගමට ආරක්ෂාව සෙත සලසන මේ දෙවියන්ට ඇයි සූනියම් දෙවියන් කියන්නේ කියලා?

ඒක දේව පුරාණයේ එන ඉතා විශිෂ්ට කතාවක්. එක් තැනක කියනවා ලංකාවට කර තිබුණ රාක්ෂ වින බන්ධනයක් කපන්න ආව නිසා ඒ දෙවියන් සූනියම් දෙවියන් වුණා කියලා. තවත් තැනක කියනවා භූත බන්ධනයක් කපන්න ආව නිසා ඒ දෙවියන් සූනියම් දෙවියන් වුණා කියලා. ඒ හේතු දෙකෙන් මොන හේතුවකට හරි උන්වහන්සේ ඒ බන්ධනය කපන්න ලංකාවට වැඩ තියෙනවා. 

දේවගැතිතුමා පැවසූ ඒ කතාව මනරම්ය. දිනක් මහා බ්‍රහ්මයා සියලු දෙවියන් කැඳවා මේ මහා වින බන්ධනය කපන්න පුළුවන් දෙවිකෙනෙකුට විතරයි. ඒ විනබන්ධනය කපන්නට යෑමට ඉදිරිපත් වෙන දෙවියන් කවුද මහා බ්‍රහ්මයා විමසීය. සියලු දෙවිවරු නැගිට මම යන්නෙමියි කී කල මහා බ්‍රහ්මයා පැවසූවේ මෙවැන්නකි.

මේක මහා දරුණු බන්ධනයක්. මේ බන්ධනය කපන්න යන දෙවියන්ට සමහර විට නැවත මේ දිව්‍ය විමානයට එන්න ලැබෙන එකක් නෑ. ඒ දෙවියන් විනාශ වී යන්න පුළුවන්. මහා බ්‍රහ්මයා එසේ කී කල මම යන්නෙමියි හඬ නැගූ සියලු දෙවිවරු නිශ්ශබ්ද වූහ. යළිත් තම ආසනවලම හිඳගත්හ. එහෙත් එක් දෙවි කෙනෙක් පමණක් සිටි අයුරින්ම සිට පෙනී සිටියහ.

ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කී මේ තරුණ දෙවියන් මම යන්නෙමියි ස්වකැමැතෙන්ම ඉදිරිපත් වෙද්දී මහා බ්‍රහ්මයා ඒ රාත්‍රිය බැවින් ඒ දෙවියන්ට පන්දමක් සහ පැන් කෙණ්ඩියක්ද දී ගමන යාම සඳහා අශ්වයෙක් ද මවා දුන්නේය.

මම ගින්නට පැන මේ බන්ධනය කපද්දී ඔබ මා සමඟ එන්න එපා. අහිංසක ඔබ විනාශ විය යුතු නැහැ. මගේ ඇඟේ කොටසක් ඉතුරු වුණොත් ඔබ ඒ කොටසත් රැගෙන යළි දෙව්ලොවට යන්න... බන්ධනය කපන්නට සැරසී සිටි මොහොතේ ඒ දෙබස දෙවියන් සුදු අශ්වයාට පැවසීය. මේ බල ඇති දෙවියන් බන්ධනය කපද්දී දෙව්ලොව දේව සේනාවෝ ස්තෝත්‍ර ගැයූහ. එයින් දෙවියන්ගේ බලය තවත් වැඩිවිය. ගින්නට පැන බන්ධනය කැපූ දෙවියන් යළිත් ගින්නෙන්ම මතු වුවත් ඒ මහා බන්ධනයේ විෂ ශරීර ගතවී ඒ දෙවියන් නිල් පැහැ විය. අශ්වයා විෂ කැවී නිල් පැහැ වුණු දෙවියන් ද රුගෙන දෙව්ලොවට ගියේය.

මේ දෙවියන් යළිත් ජීවත් කරවිය හැකි බව දුටු මහා බ්‍රහ්මයා ඒත් මේ දෙවියන්ගේ විෂ සම්පූර්ණයෙන්ම නසන්නට නම් බුදු කෙනෙක් යළිත් ලොවට පහළ වියයුතු යැයිද කියමින් ඒ දෙවියන් ඒතෙක් ජීවත් කරවනු පිණිස නයි හත්දෙනෙක් සහ පොළොඟුන් හත්දෙනෙක් මවා ඒ සර්පයන් දෙවියන්ගේ ඇඟට දමා උඹලා උදේ සවස මේ දෙවියන්ගේ ශරීර ගත සියලු විෂ උරා බොන්න යැයි අණ කළේය. එසේම විෂ නසනු රිසින් සෑම දිනකම උදේ ඒ දෙවියන්ට කිරි කළයක් බීමට දෙනු පිණිස ගොපලු අවතාරය නම් චරිතයක් ද මවාලූයේය. ගොපලු දෙවියන් ලෙස හඳුන්වන්නේ ඒ ගොපලු අවතාරයයි. ඒ ගොපලු දෙවියන්ට පැවරුණු රාජකාරිය වුණේ උදෑසනට මනුලොවට ගොස් එළදෙනුන් හත්දෙනකුගෙන් කළය පිරෙන්නම කිරිදොවාගෙන ඒමයි. ඒ දෙවියන් කළ මහා කාර්යභාරය නිසා ගමින් ගමට දොරින් දොරට ගොස් ඒමේ විශේෂ වරයක් ද මහා බ්‍රහ්මයා ඒ දෙවියන්ට ප්‍රදානය කළ අතර ගම්බාර සූනියම් අප්පච්චී බවට ඒ දෙවියන් පත්වුණේ එලෙසය. 
ඔබ කලින් කීවා සමහර දෙවිවරුන්ට ගේ ඇතුළේ පහන තියන්න වදින්න පුදන්න එපා කියලා? ඒ ඇයි?

සූනියම් දෙවියන්ට ගෙමිදුලේ පහන තැබීම සම්ප්‍රදායක්. සිරිතක් ලෙස ඒ දෙවියන්ට ගේ ඇතුළේ පහන තියන්නේ නෑ. ඒ දෙවියන්ට ගෑනු අය පහන තියන්නෙත් නෑ. අර මම මුලින් කී ලෙස ස්වාමියා මිය ගිය පසු ස්වාමියා කළ යුතු කාර්යය බිරිඳ කරගෙන යන අවස්ථාවක් හැරෙන්න. ගෑනු අයට ඒ අයගේ කිලි අහුවෙන දවස් තියෙනවා. මාසික ඔසප්වීම වගේම දරු ප්‍රසූතියකින් පසුත් කිලි අහුවෙනවා. මළගෙදරක ගියත් කිලි. කිලි අහුවෙන දවසට බුදුන්ට පහන තිබ්බට කමක් නෑ. බුදු පහනට කිල්ල ප්‍රශ්නයක් නෑ. ඒත් කිලි සහිත දවස්වල දෙවියන්ට පහන තියන්න එපා. 

අනික් එක නිවෙස ඇතුළත බුදුන්ට දෙවියන්ට පහන් දැල්වීම වන්දනාව මම අනුමත කරන්නේ නෑ. දේව වන්දනාවේදීනම් කිලි අහුවීම එක කාරණයක්. අනික් එක බුදු පිළිම දේව පිළිම ඉස්සරහට කකුල් දිගු කරගෙන ඌරු මස්, හරක් මස් ඇතුළු මස් වර්ග වුණත් ගෙදර කන අය ඉන්නවා. ඒ වගේ මස්, මාළු පිළිස්සුම් ජාති උය උයා සිගරට්, මත්පැන් බොන සමහර කුණුහරුප කියන ගමන් බුදුන්ට දෙවියන්ට පහන තියලා වැඩක් නෑ. එය මහා පවක්. එයින් පිහිටක් සරණක් ලැබෙන්නේ නෑ. ගෙයක් ඇතුළේ බුදුන්ට දෙවියන්ට වඳිනවානම් නිවෙස ඇතුළත සුදුසු තැනක ඒ සඳහා වෙනමම බුදු ගෙයක් සාදාගෙන ආගමික කටයුතු කළ යුතුයි. වඩාත්ම සුදුසුයි ගේ මිදුලේ නැගෙනහිර දිශාවෙන් බුදුන් දෙවියන් වෙනුවෙන් වෙන් කරගත් තැනක පහන පත්තු කිරීම. එහි ආලෝකය මුළු නිවසටම වත්තටම වැටෙනවා.

අපි බුදුන්ට දෙවියන්ට පහන තියද්දී ඒ පහනට බැල්ම හෙලන්නේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාගේ බැල්ම වැටෙන්නනම් ඊට සුදුසු තැනක පහන තැබිය යුතුයි. බුදුන් වහන්සේට බුදුවීමට කාලය, දේශය, වාසය සුදුසු බව දැනුන්දුන් මහා බ්‍රහ්මයාට කළගුණ සැලකීමක් ලෙස බුදුන්වහන්සේ කීවා බුදු පහන ඔබට බාරයි. ඒ නිසා ඔබ අරගන්න. මේ ශාසනය තවත් බුදුවරයකු පහළ වනතෙක් සුරකින්න කියලා. මහා බ්‍රහ්මයා ඉටුකරන්නේ ඒ වගකීම. අපි නිසියාකාරව වත්පිළිවෙත් අනුව පහන තියනවා නම් වඳිනවා පුදනවා නම් ඒ පිහිට සරණ අපට ඒකාන්තයි.

ගේ ඇතුළේ කඩවර දෙවියන්ට පහන තියන්න එපා කියලා සමහරු කියනවා. ඒ ඇයි?

අපට කළ යුත්ත නිසියාකාරව කරන්නට බැරිනම් එය නොකළ යුතුයි. කතරගම, විෂ්ණු, පත්තිනි, සමන්, ගණ ඇතුළු දෙවිවරැන්ට පහන තියලා පිංපෙත් අනුමෝදන් කළාට කඩවර දෙවියන්ට වඳින පුදන විදිහ වෙනස්. ඒ අය දේවත්වයට පත්වෙන්නට පෙර ප්‍රිය කළ දේවල් තමා ඒ අයට පුද පූජා ලෙස දෙන්නේ. කඩවර දෙවියන්ට තමා අපි කඩවර යක්ෂයා කියලාත් කියන්නෙත්. කඩවර දෙවියන්ට පුදපූජා කරනවා නම් ගෙදරදී මත්පැන් සහ බයිට් වර්ග සිගරට්, ගංජා වගේ දේවලුත් පූජාවට තියෙනවා. ඒ වගේම මස් බැදලා, කඩල බැදලා, මාළු බැදලා, බයිට් වර්ගත් පූජාවට තියෙනවා. මල් පහන් තියලා විතරක් කඩවර දෙවියන් සනසවන්නවත් පිහිටපතන්නවත් බෑ. ඒ නිසා තමා නිවෙසක් ඇතුළත කඩවර දෙවියන් ඇදහීම ප්‍රායෝගික නොවන්නේ...

(යක්ෂ, ප්‍රේත භූත, කුම්භාණ්ඩ ලෝකයේ මෙන්ම දෙවියන්ගේ ලෝකයේත් අපූරු කඩඉම් එමටය. තවත් අලුත් පරිච්ඡේදයකින් එන ඉරිදත් මුණගැසෙමු.)

සංජීවිකා සමරතුංග
« PREV
NEXT »

Facebook Comments APPID