BREAKING NEWS
latest

728x90

468x60

බිරිඳ කොට්‌ටයකින් මුහුණ සිරකර සැමියා මරා නයිලෝන් ළනුවකින් කාමරයේ බාල්කයක එල්ලලා - විල්ගමුවේ ඝාතනයේ සුළමුල හෙළිවේ

මාතලේ විල්ගමුව පොලිස්‌ බල ප්‍රදේශයේ නැදුන්ගමුවේ ගෙල වැලලාගෙන මියගිය බව කියූ ගොවියකුගේ මරණය පිළිබඳව දෙවසරක කාලයක සිට සිදුකළ විමර්ශනයකින් පසු එය ඝාතනයක්‌ බවට අනාවරණය වීමෙන් පසු මියගිය අයගේ බිරිඳ විල්ගමුව පොලිසිය මගින් පෙරේදා (09 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.


2015 දෙසැම්බර් 16 වැනිදා රාත්‍රි ගෙල වැලලාගෙන මියගිය බවට සඳහන් වූයේ අලුත්ගෙදර ආරියදාස නමැති 36 හැවිරිදි විවාහකයෙකි.

මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස්‌ විමර්ශනවලදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව බිරිඳ සහ මියගිය ස්‌වාමියා අතර ඇති වූ ආරවුලක්‌ දුරදිග ගොස්‌ බිරිඳ විසින් සැමියා තල්ලු කළ අවස්‌ථාවේ ඔහු බිම වැටී ඇත. එම අවස්‌ථාවේ සැමියාගේ ඇඟමත නැග බිරිඳ කොට්‌ටයක්‌ රැගෙන මුහුණ සිරකර මරාදමා ඇත.

පසුව බිරිඳ ගෙවත්තේ ළිඳේ බාල්දිය ගැටගසා තිබූ නයිලෝන් ලණුව රැගෙනවිත් ගෙලට දමා සිරකර නිවසේ කාමරයක බාල්කයක එල්ලා ඇත. මෙම අවස්‌ථාවේ නිවසේ සිටි 15 හැවිරිදි දියණියට සිද්ධිය පිළිබඳව අනාවරණය නොකරන ලෙස බියගන්වා පසුදින පොලිසියට ගොස්‌ සැමියා ගෙල වැලලාගෙන ඇති බවට විල්ගමුව පොලිසියට පැමිණිලි කර ඇත.

මාතලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එල්. වෛද්‍යරත්න මහතා විසින් මෙම මරණය ගෙල වැලලාගෙන මියයැමක්‌ නොවන බවට නිගමනය කිරීමෙන් පසු විල්ගම පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි ඔහුගේ බිරියය. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අයි. බී. ටී. සුගතපාල, දඹුල්ල පොලිස්‌ අධිකාරී ගාමිණී මීගහකුඹුර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පාලිත ඉලංගන්සේකර, නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්‌ථානාධිපති ධම්මික වෙලගෙදර, පොලිස්‌ සැරයන් හසන (41054) පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන බණ්‌ඩාර (74225) දිසානායක (74125) වීරසේකර යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 සරත් එරමිණිගම්මන
« PREV
NEXT »

Facebook Comments APPID