BREAKING NEWS
latest

728x90

468x60

එක මරණයයි ගෝරි ගොඩයි - නැවක්‌ එනකං රටක්‌ බලා සිට තෙල් අර්බුදයේ නෑසුණු කතා මෙන්න

පසුගිය දින කිහිපය තුළ මෙරට දැවෙන ගැටලුව බවට පත්වූයේ ඉන්ධන හිඟයයි. මෙරට ඉතිහාසය තුළ කිසිදු දිනෙක මෙවැනි පෙට්‍රල් හිඟයක්‌ ඇතිවී නොමැත. 

කොළොන්නාව තෙල් ටැංකිවලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් ප්‍රහාර එල්ල කළ අවස්‌ථාවේදී පවා හිඟයක්‌ ඇති නොවන අයුරින් රට පුරාම ඉන්ධන බෙදාහැරීමට එකල පාලකයෝ සමත් වූහ. එහෙත් වර්තමානයේ දී එය වෙනස්‌ වී ඇති බව මෙරට බහුතරයක්‌ ජනතාවට අවබෝධ විය. 

නොසිතූ මොහොතක ඇතිවූ මෙම පෙට්‍රල් හිඟය නිසා ජනතාවට විවිධාකාරයේ ගැටලුවලට මුහුණපෑමට සිදුවිය. එයිනුත් වැඩිපුරම බැටකෑමට සිදුවූයේ කුලී රථ රියෑදුරන් වැනි එදිනෙදා මුදලක්‌ උපයා ගන්නා ජනතාවටය. බහුතරයක්‌ ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් ඇතිවූ පෙට්‍රල් හිඟය තුළ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් පිරිසක්‌ද සිටියහ. ඒ වැඩි මුදලට පෙට්‍රල් විකිණීමෙන්ය. 

 ඉන්ධන හිඟයෙන් වැඩිපුරම බැට කෑමට සිදුවූයේ කොළඹ සහ ඒ අවට නගරාශ්‍රිත ජනතාවටය. සමහර ඉන්ධන පිරවුම්හල් අසල හැතැප්ම ගණන් දිගු පෝලිම් දකින්නට ලැබිණි. එවැනි තත්ත්වයක්‌ මත බහුතරයක්‌ ජනතාව දැනගත් සිදුවීම්වලට අමතරව දැන නොගත් සිදුවීම් රාශියක්‌ මෙරට විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. මේ ගෙනහැර දක්‌වන්නේ ඉන්ධන පෝලිම් අස්‌සේ සිදුවූ එවැනි සිදුවීම් කිහිපයක්‌ය. 

 ඉන්ධන පෝලිමේ අවාසනාවන්ත මරණය

 ජයන්ත ප්‍රේමලාල් ඌරගස්‌මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 53 ක්‌ වන ඔහු මුරකරුවකු ලෙස තම රැකියාව කළේය. තම යතුරුපැදියට ඉන්ධන පුරවා ගැනීම සඳහා ඔහු පසුගිය 11 වැනිදා ඌරගස්‌මංහන්දිය නගරයේ ඉන්ධන පිරවුම්හලකට ගියේය. 

 ඉන්ධන හිඟවීම නිසා දිගු පෝලිමක පැය කිහිපයක්‌ ඔහුට රස්‌තියාදු වීමට සිදුවිය. සෑහෙන වේලාවක්‌ ඉන්ධන පෝලිsමේ රස්‌තියාදු වීම නිසා ජයන්ත සිටියේ ඉමහත් මහන්සියකිනි. කොතරම් අමාරු වුවත් ඔහු එක දිගටම පෝලිමේ සිටියේ කෙසේ හෝ ඉන්ධන ගසාගෙන යැමටයි. අවාසනාවක මහත යනු ඔහු ඉන්ධන පිරවුම්හලට ළඟා වන විට පෙට්‍රල් අවසන් විය.

 එහි සිටි පිරිස ආපසු හැරී යද්දී ඔහු ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු සමඟ යළි පෙට්‍රල් එන්නේ කවදාද කියා ඇසුවේය. පොම්පකරු එයට පිළිතුරු දීමට මත්තෙන් ජයන්ත කපා හෙලූ කෙසෙල් කඳක්‌ මෙන් ඇද වැටුණේය. වහාම රෝහල්ගත කළත් අවසානයේ ඔහුට නිවසට ඒමට සිදු වූයේ මිනී පෙට්‌ටියකින්ය. 

 අයුක්‌තියට එරෙහිව නැඟී සිටි තරුණයා

කමන්ත කළුතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පෙට්‍රල් හිඟය සමඟ ඔහු එම නගරයේ ඉන්ධන පිරවුම්හලක පැය ගණනක්‌ පෝලිමේ රැඳී සිටියේය. ඒ සමඟම පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකුගේ ආරක්‌ෂාව යටතේ සුඛෝපභෝගී මෝටර් රථයක්‌ එම ඉන්ධන පිරවුම්හලට පැමිණියේය. පැය ගණනක්‌ පෝලිමේ සිටි මිනිසුන් සත පහකටවත් මායිම් නොකළ එම පොලිස්‌ නිලධාරීහු සුඛෝපභෝගී මෝටර් රථයට ඉන්ධන ගසා ගැනීම සඳහා ඉඩ ලබා ගැනීමට සැරසුණහ. 

 එහෙත් එය එම පොලිස්‌ නිලධාරීන් සිතූ තරම් ලෙහෙසි නොවූහ. සිදුවෙන්නට යන අසාධාරණය පිළිබඳ එම ස්‌ථානයේ සිටි බොහෝ දෙනකුගේ නෙත ගැටුණත් එයට එරෙහි වුණේ කමන්ත පමණි. ඔහු එම පොලිස්‌ නිලධාරීන් එලෙස කරන්නේ ඇයි දැයි කියා විමසුවේය. එවිට එම නිලධාරීන් පැවසුවේ එය ප්‍රභූවරයකුට අයිති මෝටර් රථයක්‌ බවයි. 

 එය අමූලික බොරුවකි. එම මෝටර් රථයේ අයිතිකරු බෙන්තොට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටල් ව්‍යාපාරිකයෙකි. කමන්ත එය දැන සිටියේය. යළි ඔහු පොලිස්‌ නිලධාරීන්ට ඒ බව පවසා අසාධාරණ කරන්නට එපා යෑයි පවසා තිබේ. එයින් උරණ වූ එම පොලිස්‌ නිලධාරීහු කමන්තට ලෙස බැණ වැදුණහ.

 කමන්ත බිය නොවීය. ඔහු එම අසාධාරණයට එරෙහිව පොලිස්‌ නිලධාරීන් සමඟ තනිවම සටන් වැදුණේය. ඔහු සමඟ ඉන්ධන පෝලිමේ සිටි වෙනත් කිසිදු පුද්ගලයෙක්‌ කමන්ත වෙනුවෙන් පෙනී නොසිටියේය. ඔවුහු මුනිවත රකිමින් එම සිද්ධිය රස විඳිමින් සිටියහ. 

 කමන්ත සටන අත් නොහැරියේය. පොලිස්‌ නිලධාරීන් සමඟ ඔහු තනිවම සටන් කළේය. ඔහු පුන පුනා පැවසුවේ නීතිය රැකීමට සිටිනා නිලධාරීන් මෙවැනි අසාධාරණ වැඩ කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවයි. පොලිස්‌පතිතුමනි, අහිංසක මිනිසුන්ට චණ්‌ඩිපාට්‌ දමමින් ව්‍යාපාරිකයන් ළඟ දණින් වැටී ඔවුන්ගේ ඕනෑම පර වැඩක්‌ කිරීමට සූදානමින් සිටින මෙවැනි පොලිස්‌ නිලධාරීන් ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන්නේ නම් මැනවි.

 තරු ගැසූ පොලිස්‌ නිලධාරියාගේ කම්මුල් පහර



oilමහරගම - නාවින්න ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකද පසුගිය 06 වැනිදා ඉතා දිගු පෝලිමක්‌ තිබුණි. එක්‌තරා තරුණයකු තමාගේ මෝටර් රථය මඟ නතර වීම නිසා කෑන් එකක්‌ රැගෙන එම පෝලිමේ රැඳී සිටියේය. එවැනි කෑන්, බෝතල් දමාගත් කිහිප දෙනෙක්‌ එම පෝලිමේ සිටියහ.

 සම්පූර්ණයෙන් හිස මුඩුකරගත් උසට සරිලන මහතකින්ද, එම මහතට සරිලන බරකින්ද යුත් තරු ගැසූ පොලිස්‌ නිලධාරියෙක්‌ එම ඉන්ධන පිරවුම්හලට පැමිණියේය. ඔහු ඉතා උස්‌ හඬින් පෝලිමේ සිටි මිනිසුන්ට පැවසුවේ කෑන්වලට පෙට්‍රල් ලබා නොගන්නා ලෙසයි. 

 මෝටර් රථය අතරමඟ නැවතී කෑන් එකක්‌ රැගෙන පෙට්‍රල් ගැසීමට පැමිණි පුද්ගලයා ඉන්ධන අවසන් වී මෝටර් රථය මඟ නැවතුන බැවින් කෑන් එකකට පෙට්‍රල් රැගෙන නොයා වෙන කුමක්‌ කරන්න දැයි කියා පැවසුවේය. එයින් කුපිත වූ එම පොලිස්‌ ඔහුට බැණ වදිමින් කම්මුල් පහරවල් කිහිපයක්‌ද එල්ල කළේය. 

 මිනිසුන් අසරණ වී සිsටින මොහොතක කිසිදු සොයා බැලීමක්‌ නොකර තම නිල ඇඳුමේ බලය පාවිච්චි කරමින් එලෙස අහිංසක මිනිසුන්ට පහරදීම කොතරම් අශිෂ්ට සම්පන්න ක්‍රියාවක්‌ද? සමහර පොලිස්‌ නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා නිසා අපකීර්තියට පත්වන්නේ සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවමයි. එහිදී සමහරු පැවසුවේ පොලිසිය බල්ලාට ගියාද නැතිනම් බල්ලන් පොලිසියට ආවාද කියාය. 

 කුලී ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ දුක

 බොහොමයක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් තම පවුල ජීවත් කරනුයේ එදිනෙදා හයර් දුවා ලබා ගන්නා මුදල්වලිනි. පෙට්‍රල් හිඟය නිසා බහුතරයක්‌ ත්‍රිරෝද රථ රියදුරන්ට තම රැකියාව නිසියාකාරව කර ගැනීමට නොහැකි විය. එම හේතුව මත දින ගණනක්‌ එම පවුල්වල සාමාජිකයෝ අන්ත අසරණ භාවයට පත්වූහ. 

 බන්දුසේන, කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ත්‍රිරෝද රථගාලේ රියෑදුරෙකි. ඔහු පෙට්‍රල් අර්බුදය නිසා මුහුණ පෑ ගැටලුව අපට පැවසුවේ මෙලෙසින්ය. "මේ ත්‍රීවීල් එක මගෙත් නොවෙයි. අයිතිකරුට දවසට 500 ක්‌ දෙන්න ඕන. මේකෙන් ලැබෙන ආදායමෙන් තමයි අපේ පවුලම ජීවත් කරවන්නේ. මේ තෙල් අර්බුදය නිසා මට හයර් දුවා ගන්න බැරිවුණා. ඒක නිසා දවස්‌ ගණනක්‌ අපි ජීවත් වුණේ බොහොම අමාරුවෙන්. ළමයි දෙන්නෙක්‌ පාසල් යවන්න ඕන. ඒකත් හරියට කරගන්න බැරිවුණා මේ පෙට්‍රල් හිඟය නිසා. ඇත්තටම අපි මාර දුකක්‌ වින්දේ ඒ දවස්‌ ටිකේ. බැරිම තැන කනකර පවා උකස්‌ කෙරුවා. තව ටික දවසක්‌ මෙහෙම වුණා නම් පවුල පිටින්ම මැරෙන්න තමයි වෙන්නේ. 

 බහුතරයක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් පැවසුවේ පෙට්‍රල් හිඟය නිසා තමන්ගේ සහ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත නැත්තටම නැතිවූ බවයි. 

 කතරගම ගොස්‌ අතරමඟ හිරවූ පවුල

 කිරිබත්ගොඩ පදිංචි උදේනි, බිරිඳ සහ දරු තිදෙනා සමඟ කතරගම ගියේ තෙල් අර්බුදය පටන්ගත් දිනයේදීය.
කතරගම වැඳ පුදාගත් ඔවුහු පසුදා සවස යළි කොළඹ බලා ඒමට පිටත් වූහ. මෝටර් රථයට මඟදී ඉන්ධන ගසා ගැනීමට සැරසුණත් එය කරගැනීමට නොහැකි වූයේ සෑම ඉන්ධන පිරවුම්හලකම දිගු පෝලිම් දක්‌නට ලැබුණ නිසාය.

 ළමයි තිදෙනා කුඩා අය නිසා පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමටද නොහැකිය. අවසානයේ ඔවුන් මාතර නගරයට පැමිණියේය. එතැනින් එහා යැමට මෝටර් රථයේ ඉන්ධන නොමැති විය. ඉන්ධන ලබා ගැනීමට පැය පහකට හයකට අධික කාලයක්‌ රැඳී සිටීමට සිදුවන නිසා හෝටලයක කාමරයක්‌ කුලියට ගෙන දින දෙකක්‌ ඔවුහු එහි රැඳී සිටියහ. 


 පික්‌ පොකට්‌  කරුවන්ට වැදුණු චාන්ස්‌


 කොළඹ නගරයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල දක්‌නට ලැබුණේ ඉතා දිගු ඉන්ධන පෝලිම්ය. සමහර මිනිසුන් අලුයම් කාලයේ සිට එම පෝලිම්වල සිටිති. ඔවුන්ගේ එකම අරමුණ කෙලෙස හෝ පෙට්‍රල් ටිකක්‌ ලබා ගැනීමයි. එයින් අවස්‌ථාව ලබාගත් පික්‌ පොකැට්‌ කාරයෝ ඉන්ධන පෝලිම්වල එලෙස සිටින මිනිසුන්ගේ මුදල් පසුම්බිය සොරා ගත්තේ කිසිදු අපහසුවකින් තොරවය. 

 කොටහේන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ සිටි තරුණයකුගේ මුදල් පසුම්බිය නැති බව ඔහු දැන ගත්තේ තෙල් ගසා අවසන් වූ පසු මුදල් දීමට යැමේදීය. ඔහුගේ ඩෙනිම් කලිසමේ පසුපස සාක්‌කුව දැලි පිහියකින් කපා මුදල් පසුම්බිය රැගෙන ගොස්‌ තිබුණි. 

 මනමාලිය බලන්න ආ මනමාලයාට වූ අකරතැබ්බ

 රත්නපුරයේ සිටි රුවන් කොළඹ, මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ මනමාලියක්‌ බැලීමට පැමිණියේ තම දෙමාපියන් සහ ඥතීන් කිහිප දෙනෙක්‌ සමඟයි. දහවල් මනමාලියගේ නිවසින් කෑම කා පිටත්වූ ඔවුන් පැමිණි මෝටර් රථ දෙකට අතරමඟදී පෙට්‍රල් ගසා ගැනීමට අවශ්‍ය විය. එහෙත් තෙල් පෝලිම අස්‌සේ ඔවුනට පැය ගණනක්‌ එහි රස්‌තියාදු වීමට සිදුවිය. 

 කෙතරම් වෙලා පෝලිම්වල සිටියත් තෙල් ගසා ගැනීමට අමාරු බව දැනගත් ඔවුහු යළි මනාලියගේ නිවසට පැමිණ මෝටර් රථ දෙක එහි නතර කර දමා කුලියට ගත් වෑන් රථයකින් රත්නපුරය බලා පිටත් වූහ. යළි මෝටර් රථ දෙක ඔවුන් රැගෙන ගොස්‌ තිබුණේ දින දෙකකට පසුවය. 

 කාන්තා පෝලිම

 කොළඹ 08 ප්‍රදේශයේ ඇති එක්‌තරා ඉන්ධන පිරවුම්හලක අයිතිකාරිය කාන්තාවකි. එම නිසා එම ඉන්ධන පිරවුම්හලේ කාන්තාවන් සඳහා වෙනම පෝලිමක්‌ තිබුණි. විශේෂයෙන්ම එම ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිය එලෙස කර ඇත්තේ ස්‌කූටි වර්ගයේ යතුරුපැදි පදින කාන්තාවන් ගැන හිතාය.

 කාන්තා පෝලිම තුළදී ඉක්‌මනින් තෙල් ලබාගත හැකි බව දැනගත් සමහර පිරිමි නිවෙස්‌වල සිටින කාන්තාවන්ට එම ඉන්ධන පිරවුම්හලට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව සුළු මොහොතක්‌ ඇතුළත එම ඉන්ධන පිරවුම්හල අසලට විශාල කාන්තාවන් ප්‍රමාණයක්‌ පැමිණ තිබුණි. 

 ටැංකිය ගැලවූ තරුණයා

එක්‌තරා තරුණයකුගේ යතුරුපැදිය ඉන්ධන නොමැතිව අතරමඟදී නතර විය. බෝතල්වලට කෑන්වලට පෙට්‍රල් නොදෙන බව ඔහුට දැන ගන්නට ලැබුණි. ඔහු කළේ තම යතුරුපැදියේ ඉන්ධන ටැංකිය ගලවා පෙට්‍රල් ගසා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල වෙත රැගෙන යැමයි. ඉන්ධන හිඟය නිසා අතුරු සිදුරු නැතිව සමාජ වෙබ් අඩවි ජාලාවලද විවිධ අදහස්‌ සහ පිංතූර හුවමාරු විය. 

ගයාන් සමරසිංහ
« PREV
NEXT »

Facebook Comments APPID