BREAKING NEWS
latest

728x90

468x60

මව පියා සහ එක්‌ පුතෙක්‌ වියනා ඇලේ ගිලේ - නිවුන් පුතෙක්‌ තනිවූ කදුළු කතාව

ලොග්ගල් ඔය ජලාශයේ පිටවානෙන් පිට පනින ජල කඳ මරුවාගේ හෙවනැල්ලෙන් වැසී ඇති වග තවමත් ඒ හරහා ගමන් කරන පිරිස්‌ නොදන්නා බව දකින්නට ඇත්තේ, පිට පිටම එක දිගට මරු සමඟ යන ජනගඟ දකින විටය. මේ වසර තුළ පමණක්‌ දසදෙනකුට ආසන්න පිරිසකගේ හුස්‌ම පොද දිය යට සඟවා ගනිමින් ජීවත්වන්නවුන්ට දරා ගත නොහැකි කම්පාවක්‌ හිමිකර දුන් මහවැලි අන්තර් නිම්න ඇළ මාර්ගය හෙවත්, වියානා ඇළ තමන් රුදුරු බව යළිත් සිහිකර ඇත්තේය. 

එකම ලෙයින් බැඳි මව පියා සහ පුතුගේ ජීවිත සඟවා ගැනීමට තරම් සාහසික වූ වියානා ඇළ ජලකඳ හේමරත්න පවුලට පමණක්‌ නොව කන්ද උඩරටම දුක්‌ ගංඟාවක ගිල්වන්නට මඟ පෑදුවේය. එකම බඩවැල කඩාගෙන එක්‌ව වෙසෙන්නට පෙරුම්පුරා උපන් නෙත්වින අකේෂ් සහ මෙත්වින අකේෂ් සහෝදරයන් මේ භවයේදී වෙන් කරන්නටත්, මෙත්වින අකේෂ්ට ජීවිත කාලය පුරාවටම මැරි මැරී උපදින තරම්ම මහා දුකක්‌ ඉතිරි කර දෙන්නටත් වියානා ජල කඳ දරුණු වූයේය. 

චමින්ද හේමරත්න හතළිස්‌ හතර හැවිරිදි පියාය. ඔහු වාහන අමතර කොටස්‌ ව්‍යාපාරයක නියුතුව සිටියේය. හතළිස්‌ එක්‌ හැවිරිදි සකුන්තලා ගමගේ ඔහුගේ ප්‍රිය බිරිඳය. මේ දෙමහල්ලන් ඉකුත් විසිතුන් වැනි බ්‍රහස්‌පතින්දා සිය දහහත් වැනි වියෙහි පසුවන නිවුන් පුතුන් වන නෙත්වින සහ මෙත්වින සමඟ මැණික්‌හින්න හුරිකඩුවේ සිය තාවකාලික නිවසින් අලුයම පිටත්ව ගියේ මහියංගනය වැඳපුදා භාරහාර වන්නටය. 

බුදුන් වැඩි මහියංගනයේ පුද බිමෙහි පුද පූජා වන්දනා මාන සියල්ල පවත්වා ඔවුහු ඉන් පිටව ගියේ සිය අවසන් ගමන යන්නට යෑයි කිසිවිටෙකත් නොසිතන්නට ඇත. තම ව්‍යාපාරයන්හි අවශ්‍යතාවක්‌ මත, කන්දකැටියට ගොස්‌ එම කටයුත්ත ද නිමා කරගත හැකි නම් වඩා හොඳ යෑයි සිතු චමින්ද මහියංගණය බදුල්ල පාරේ මාපාකඩ වැව දහහතේ කණුව අසලින් වැටී ඇති වියානා ඇළ බන්ට්‌ එක දිග ඇති කෙටි පාරෙන් සිය ගමන යන්නට තීරණය කරන්නට ද ඇත. 

මෙම මඟ කාපට්‌ අතුරා ඇත්තේය. උමා ඔයේ ජලය ලොග්ගල් ඔයට ගෙන යන්නේද, ලොග්ගල් ඔය ජලාශයේ ජලය යළි නාගදීප ප්‍රදේශයට ගෙන යන්නේ ද මහවැලි ව්‍යාපාරයෙන් තනන ලද වී අකුරේ හැඩයට තනන ලද ඇළ මාර්ග හරහාය. වියානා සමාගමක්‌ විසින් තනන ලද බැවින් මෙම ඇළ මාර්ග වියානා ඇළ ලෙස ද ප්‍රසිද්ධය. ඇළ බන්ට්‌ එක දිගට ඇති අසිරියත් මඟ හොඳ බැවිනුත් බදුල්ලට යා හැකි කෙටිම මඟ නිසාත්, මේ මඟ භාවිතා කරන පිරිස්‌ දිනෙන් දින වැඩිය. මේ කිසිවකුටත් මෙම මාර්ගයේ අනතුරුදායක බවක්‌ නොපෙනෙන්නේ අනතුරක සේයාවක්‌ හෝ ඇඳී නැති බැවිනි. එහෙත් මෙම ඇළ දෙපස වෙසන්නවුන් හිරු නැඟෙන මොහොතේ සිට ගත කරන්නේ, කුමන අනතුරක්‌ කොයි මොහොතේ සිදුවේ දෝ යන කුකුසිනි. මන්ද මහමඟ ඇවිද යන්නවුන් පවා බිලිවන මේ ඇළ මාර්ගයේ දෙපස අනාරක්‌ෂිත බවත් නිතර දෙවේලේ අනතුරු සිදුව ජීවිත අහිමිව යන පිරිස්‌ පිළිබඳවත් අත්දැකීම් ඇති පදමටම ඇති නිසාය. ඉකුත් පොසොන් පොහෝදා මහියංගන දාගැබ වඳින්ට ගොස්‌ ත්‍රිරෝද රථයකින් ආපසු යමින් සිටියදී ඇළට වැටී මිය ගිය මව සහ කුඩා දරුවන් දෙදෙනා මිය ගිය පුවත අපට දැනුදු මතකය. එහි මතකය වියෑකෙන්නටත් පෙර මේ මව් පිය පුත්තු ඇළට වැටුණේ සිය මෝටර් රථයද ජලයේ ගිල්වමිනි.

කන්දකැටියේ සිට ආපසු එමින් සිටි චමින්දත් බිරිඳත් පුතුන් දෙදෙනාත් ඇළට වැටුණේ කෙසේ දැයි ජීවිතය රැකි මෙත්වින්ට සිතා ගත නොහැකි බව ඔහු කියන්නේය. 

කාර් එක වතුරට වැටුණාම මම වීදුරුවක්‌ කැඩිලා තිබුණ තැනින් එළියට පැන්නා. එතකොට මම දැක්‌කා මල්ලී පහළට ඇදිලා යනවා. එයා අත් දෙක උස්‌සනවත් දැක්‌කා. මොනවත් හිතාගන්න බැරි වුණා. ටිකක්‌ විතර මට පීනන්න පුළුවන් වුණ නිසා මම ගොඩට ආවා වගේ මතකයි. අම්මයි තාත්තායි සීට්‌ බෙල්ට්‌ දාගෙන හිටියේ ඒ නිසා මොනවත් කරගන්න බැරි වෙන්න ඇතී' දැඩි හිත්තැවුලෙන් පීඩා විඳිමින් ද, සිහිනයක්‌ සේ සිදුවූ සිද්ධිය මතකයේ පෙරළි කරද්දී, කුමකින් කුමක්‌ සිදුවීද යන්න තවමත් තේරුම් ගත නොහැකිව සිටි මෙත්වින් බොහෝ පීඩාවෙන් එසේ කියා සිටියේය.

නිවසක්‌ ඉදිකර ගැනීමේ සිහිනය දකිමින් සිටි, චමින්ද හා සකුන්තලා මෙවන් අනතුරකට ලක්‌ව ඇති බව අදහාගත නොහැකිව මේ මොහොතටත් දරුණු පීඩාවට ඇත්තේ ඔවුන්ගේ වයස්‌ගත දෙමව්පියන්ය. කලක්‌ තිස්‌සේ මේ සිව්දෙනා විසූ මැණික්‌හින්න හීපිටිය මහ ගෙදර අද සෝ තැවුල් පිරි දුක්‌ අඳෝනාවන්ගෙන් පිරි තැනක්‌ව අවසන්ය. මියගිය තම සහෘද දායාර්දයන් මුව වසා දෑස්‌ වසා නිහඬව සිටියදී දරාගත නොහී වේදනාවක්‌ විඳින්නේ, එම අනතුරින්ම සීරීමක හෝ තුවාලයක්‌ නැතිව ජීවිතය රැකි මෙත්වින්ය. ඔහු විඳින වේදනාවෙන් මුළු මහත් දුම්බර මිටියාවතත්, සමස්‌ත කන්ද උඩරටම තැවුලෙන් තැවුලට පත්ව සිටිති. 

මේ අනතුර වියානා ඇළෙහි සිදුවූ අවසන් අනතුර නොවන්නේය. ඉදිරියේදී තවත් මෙවැනිම හෝ මෙයටත් බරපතළ අනතුරු සිදුවීමේ අවදානමක්‌ එහි ඇත්තේය. ඒ වග කියන්නේ වියානා ඇළ දෙපස පිරිස්‌මය..

අපි වරින් වර ප්‍රාදේශීය මට්‌ටමෙන් පළාත් මට්‌ටමෙන් විතරක්‌ නෙවෙයි මධ්‍යම රජයෙනුත් ඉල්ලා හිටියා මේ ඇළ දෙපස යකඩ වැටක්‌ ඉදි කරන්න කියා. මොකද මාසකට කවුරුහරි මේ ඇළට වැටිලා මිය යනවා. මොනතරම් රජයේ මුදල් විනාශ කරනවාද අනවශ්‍ය දේවල් සඳහා. ඇයි මේ අත්‍යවශ්‍ය කාරණාවක්‌ ගැන අවධානය යොමු කරලා මිනිස්‌ ජීවිත රැකගන්න කටයුතු කරන්න බැරි........?


සමන්තී වීරසේකර



« PREV
NEXT »

Facebook Comments APPID