ආහාර විෂවීමකින් හැටන්, දික්ඔය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක දෙසීයකට ආසන්න සේවිකාවන් පිරිසක් හදිසියේ රෝගාතුර වූ බව පසුගිය බදාදා (04) මාධ්‍ය මගින් රටපුරා ප්‍රචාර විය.මුලින් විද්‍යුත් මාධ්‍යටත්, ඊට පසු දින මුද්‍රිත මාධ්‍යටත් එක් වූ මෙම පුවත මාධ්‍යකරුවන් විසින් අවිචාරවත් ලෙස සමාජගත කරන ලද්දක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.එම සිද්ධියට මුල් වනුයේ ඉකුත් බදාදා (04) පෙරවරු 9.45 ට පමණ සේවිකාවන් කිහිප දෙනෙකු ක්ලාන්ත වී ඇද වැටීමකි. එහෙත් ඉන්පසුව කෙමෙන් එම සේවිකාවන් ගණන සියය ද ඉක්මවා තිබිණි. ඒ සමඟම කම්හල තුළ මෙන්ම අවට ප්‍රදේශයේ ද ඇති වූයේ මහත් කලබැගෑනියකි.
“අතන ගාමන්ට් එකේ ළමයි සිහිය නැතිව වැටෙනවා; කෑමකට වහක් මුසුවෙලා ලු.”හාත්පස පැතිර ගියේ එම රාවයයි.එය කණවැකීමත් සමඟ අසල්වැසි ජනතාව සේම එම ඇඟලුම් කම්හලේ සේවිකාවන්ගේ සමීප ඥාතීන්ද කම්හල වටා රොක්වන්නට වූයේ එය බිහිසුණු ව්‍යසනයක පෙරනිමිත්තක් ය යන බියෙනි. කෙසේ හෝ එසේ සිහිසුන් නොමැතිව ඇද වැටුණු සේවිකාවන් ප්‍රමාණය සියය ඉක්මවන විට ඔවුන් රෝහල් ගත කිරීමට අවශ්‍ය වාහන සපයා ගැනීමද බරපතල ගැටලුවක් විය. එවිට පාරේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ, මෝටර් රථ, බස් රථ, ලොරි රථ පවා යොදා ගනිමින් අවට වැසියෝ එම සේවිකාවන් රෝහල වෙත ගෙන ආහ.
මෙහිදී සමහර සේවිකාවක පා ගමනින් රෝහල වෙත ගමන් කළ අතර තවත් පිරිසක් රෝද පුටු මඟින් රෝහල වෙත ගෙන යනු සහ තවත් පිරිසක් රෝහල තුළට ගෙනයාමට ගිලන් මැසි පවා යොදනු දැකිය හැකි විය. ඔවුන් සියළුම දෙනා ක්ලාන්ත ස්වභාවයක් පළ කළ අතර සමහරුන් බියෙන් හඬා වැටෙනුද දක්නා ලදී.ආහාර වීෂවීමකදී හෝ අසාත්මික තාවයකදී මූලිකව පළවන කායික ලක්ෂණ කිහිපයක් තිබේ. එහෙත් ආහාර ගත් සැනින් සිහිසුන්වීම ආහාර විෂවීමක හෝ අසාත්මික තාවයක සුලබ ලක්ෂණයක් නොවේ. එසේ සිදුවිය හැක්කේ සිරුරට ඇතිවන අසාත්මිකතා කම්පනය (Anaphylactic chock) නම් බැරෑරුම් තත්ත්වයකදීය. එහෙත් මෙම ඇඟලුම් සේවිකාවන් රෝහලට ගෙන එන විටම ඔවුන්ට ආහාර විෂවී ඇති පුවතක් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණ. එහෙත් එම ඇඟලුම් සේවිකාවන් පරික්ෂා කළ රෝහල් වෛද්‍යවරුනට මූලිකව නිගමනය කළ හැකි වූයේ මෙය ආහාර විෂවීමකට වඩා ශ්වසන අපහසුවක් මුල්කොට ගත් රෝග තත්ත්වයක් බවකි.
නිසි වාතාශ්‍රය නොමැති ස්ථානයක මඳ වේලාවක් රැඳී සිටීමේ දී මෙබඳු ලක්ෂණ ඇතිවිය හැකි බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. මෙම පුවත ඩැහැගත් ඇතැම් මාධ්‍යකරුවන් මෙය ‘විෂවායු කාන්දුවක්’ ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළහ.මුල්පෙලේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල රෙදි පිළි සඳහා යොදනු ලබන රසායනිකයන් සහිත බැරල් මුද්‍රා ඉවත් කිරීමේ දී එසේ විෂවායු කාන්දුවන අවස්ථා නැත්තේම නොවේ. එහෙත් මෙම කර්මාන්ත ශාලා පරිසරය තුළ එවැන්නක් නොමැති බවද අනාවරණය විණි.
එසේනම් ඇඟලුම් සේවිකාවන් මෙතරම් පිරිසකට එක්වරම හුස්ම ගැනීමට අපහසු වී සිහිසුන් වූයේ කෙසේද?
මෙය ඉතා සරල ලෙස විස්තර කළ හොත් අර්ථකතනය කළ හැක්කේ ‘සමූහ මායා රෝගය’ (Mass Hysteria) යත තත්ත්වයක් ලෙසිනි. මෙහිදී සිදුවනුයේ කිසියම් සංසිද්ධියක් මුල්කොට සැලකියයුතු පිරිසක් තුළ ඇතිවන ‘තීව්‍රර’ මානසික බලපෑම මත එම සංසිද්ධිය එම පිරිස අතර පැතිර යාමය.
නිදසුනක් ලෙස කිසියම් කායික හෝ මානසික හේතුවක් මත තරුණියක් හිටිහැටියේ සිහිසුන්ව වැටුණහොත් එය දකින ‘නම්‍යශීලී පෞරුෂය’කින් යුතු තවත් තරුණියක් එලෙසින්ම ඇද වැටෙන්නට පුළුවන. ඒ එම තත්ත්වය තමන් වෙතද ආරෝපනය කර ගනිමිනි. මෙලෙස තරුණියන් දෙදෙනෙකු සිහිසුන්ව වැටෙනු දුටු තවත් තරුණියක් එතුළින් ඇති කරගන්නා බිය සැක මුල්කොට එය තමන්වෙතද ආරෝපනය කරගෙන එසැනින් එම තත්ත්වයටම පත්විය හැක. මායා රෝගී ආදී දුබල පෞරුෂයන්ගෙන් යුත් තරුණියන් යම් පිරිසක් මෙසේ ඇද වැටෙන විට දුබල නොවූ පෞරුෂයකින් යුත් තරුණියන්ද පසුව එසේ ඇද වැටීමට පුළුවන.
ඒ තමන් හා සම තත්ත්වයේ පිරිසක් එලෙස ඇද වැටීම තමන්ට ද ආදේශ විය හැකිය යන පුහු තර්කය නිසාය.මෙලෙස මෙය සිහිසුන්ව ඇද වැටීමට පමණක් සීමා නොවේ. කිනම් හෝ හේතුවක් මත කිසියම් තරුණියක් අධික ලෙස සිනාසෙනු දකින විට ඒ සිනහවට හේතුව නොදැන ඇගේ සිනහව මුල්කොට පමණක් තවත් තරුණියක් තුළ සිනහ ඉපදීමට පුළුවන. එලෙස ඔවුන් දෙදෙනා සිනාසෙනු දැක එය බලා සිටින තවත් තරුණියන් පිරිසකට සිනහ යන්නට පුළුවන. මෙලෙස එක් තරුණියක් හේතුවක් මත සිනාසෙන විට ඒ සිනහව මුල්කොට තවත් තරුණියන් විශාල පිරිසක් අතරේ අහේතුකව ඒ සිනහව පැතිර යා හැක. මෙවැනි තත්ත්වයන් බාලිකා පාසල් වල ඉඳ හිට මතුවනු දක්නට ලැබේ. මෙය සමාජයේ ඕනෑම ජන කොටසක් අතර සිදුවිය හැකි වුවද තරුණියන් අතරේ මේ තත්ත්වය බහුලවම දැකිය හැක.
විවිධ ආගමික ස්ථාන වල හාස්කම් දර්ශනය වීම් සම්බන්ධයෙන්ද බොහෝ විට මෙවන් තත්ත්වයන් දක්නට පුළුවන.කිසියම් ආගමික උත්සවයක දී වර්ණවත් වළාකුලක් දකින භක්තියෙන් අන්ධ වූවෙකුට එය සක්දෙවිඳුන් වැඩමකිරීමක් ලෙස හැඟී ගොස් අන්න ‘සක්‍රදෙවියො වඩිනවා’ යැයි හඬනගා කිවහොත් ඒ කෙරෙන් මතුකරගත් මානසිකත්වය ඔස්සේ විශාල පිරිසකට එම වළාකුල සක්දෙවිඳුන්ගේ රුව ලෙස දර්ශනය විය හැක. ඒ එම මොහොතේ ඔවුන් තුළ පැන නැගී ඇති ආගමික භක්තිය මුල්කොට ගත් මානසික උත්තේජනය නිසාය.
පසුගිය කාලයේ ගම්පොල ප්‍රදේශයේ පාසලක දරුවන් අතර හටගත් කැසීම් තත්ත්වයක් ද පාසල පුරා පැතිර ගිය අතර එහිදී එය පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවා යැවූ පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඊට හේතුව එම සිසුන්ගේ ශරීර වල පලු නැගී තිබූ නිසා යැයි අමාත්‍යංශයෙන් පැවසිණි.
එහෙත් කිසියම් දෙයක් සම්බන්ධ තීව්‍රර මානසික කුළුගැන්වීමක දී ඊට අදාල කායික ලක්ෂණද පළවීම සාමාන්‍ය දෙයකි. නිදසුනක් ලෙස ගවමස් කෑමෙන් ශරීරයේ පලු නඟින කෙනෙකුට ගව මස් යනුවෙන් හඟවා වෙනත් යමක් ආහාරයට දී ඒ සම්බන්ධයෙන් තීව්‍රර මානසික ඇනවුමක් ජනිත කළ විට ද ඔහු කෙරෙන් එම පලු නැගීම තරමක් දුරට හෝ දක්නට පුලුවන.
ඒ කෙසේ හෝ මෙසේ ආහාර විෂ වූ බව සහ විෂ වායු කාන්දු වූ බව පැවසෙන එම ඇඟලුම් සේවිකාවන් එදින දහවලම කිසිදු ප්‍රතිකාරයක් නොලබා රෝහලෙන් පිට වී යාමෙන්ම මෙම පුවත ‘අලයක් තබා මුලක් වත් නොමැති පස් උඩින් සිටුවන ලද ව්‍යාජ වෘක්ෂයක්’ බව කාටත් වැටහුණි.මෙවත් තත්ත්වයක් යටතේ මෙබඳු පුවත් ජනගත කිරීමට පෙර අපගේ මාධ්‍යකරුවන් මීට වඩා සංවිභාගශීලී වන්නේ නම් ජනතාව තුළ වැරදි වැටහීම් ඇති කරවන මෙවන් පුවත් සමාජගත වීම බොහෝදුරට අඩු කර ගත හැක.