බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් පසු මරණ තර්ජන එල්ල වී රටින් පළාගිය අනිකා විජේසුරියගේ සහෝදරයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.
ඒ, කොමිසම ලබාදුන් නියෝගයක් ද සැලකිල්ලට ගනිමින් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අනීකා විජේසුරියගේ සොහොයුරා විසින් ද තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බවයි.
ඔහු ද බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවෙකි.
හිටපු අමාත්‍ය රවී කරුණානායකට අල්ලස් ලෙස අර්ජුන් ඇලෝසියස් විසින් සුඛෝපභෝගී මහල් නිවාසයක් ලබා දුන් බවට සාක්ෂි දුන් අනීකා විජේසුරියට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඇය විදේශගතව ඇති බව පසුගිය දා බැඳුම්කර කොමිසමේ දී හෙළි විය.
ඇයගේ පවුලේ සාමාජිකයින්ට ද රවී කරුණානායකගේ සමීපතමයෙකුවන කැසිනෝ ශාලා කිහිපයක හිමිකාරීත්වයක් දරණ ශනිල් නෙත්තිකුමාර මර්ණ තර්ජන කර ඇති බව ද රජයේ නීතීඥවරයා මීට පෙර කොමිසමට කියා සිටියේ ය.
එහි දී කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබා දී තර්ජනය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.