BREAKING NEWS
latest

728x90

468x60

රෝහින්ග්‍යා විරෝධී ගල්කිස්සේ බෞද්ධ ප්‍රහාරයක් - රොහින්ග්‍යා සරණාගතයින් බූස්ස රැඳවුම් බාරයට : VIDEO

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව අත් කරගෙන ඇති ප්‍රගතිය ගැන ජගත් නායකත්වයේ ප්‍රසාදජනක කතා ඇමරිකා එක්සත් ජනපදයේදී අසන්නට ලැබුණු බව ප්‍රකාශයට පත් කළ ජනාධිපතිවරයා පෙරලා සියරට බලා පැමිණ දිනට පසුදා කාන්තාවන් හා අත දරුවන් ඇතුළු අනාථයන් පිරිසක් පොලිසිය බලා සිටියදී ශ්‍රී ලංකාවේ භික්ෂුන් පෙරටු කොටගත් බෞද්ධ කණ්ඩායමක ප්‍රචණ්ඩතාවට ගොදුරු වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනයක යෙදී සිටී.



එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ ගල්කිස්සේ නිවසක රඳවා සිටි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිසක් එල්ල කොටගත් ප්‍රහාරය පිළිබඳව කරුණු එක්රැස් කරමින් සිටින බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාවක් ගගන හා කියා සිටියාය.


“ප්‍රචණ්ඩතා නිසා තම රටවල් හැරපියා වෙනත් සරණක් සොයා යාමට බලකෙරුනු ලෝකයේ කවර දෙසක වුව සරණාගතයන්ගේ ආරක්ෂාව හා රැකවරණය සැලසීම අපේ පරම ප්‍රමුඛතාව වෙයි,” යනුවෙන් සන්නිවේදන නිලධාරිනී දුනියා අස්ලාම් ඛාන් ජිනීවා නුවර සිට දැනුම් දුන්නාය.

ප්‍රහාරයට ලක්වු තිහකට වැඩි රෝහින්ග්‍යා වරුන් කණ්ඩායම නවාතැන් ගෙන සිටි නිවසින් ඉවතට පොලිස් ආරක්ෂාව සලසනු සඳහා 26 අඟහරුවාදා ගෙනයන ලද බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ගගන හා කියා සිටියේ.

මියන්මාරයේ බෞද්ධ භික්ෂුන්ගේ අනුදැනුම ඇතිව සිදුකෙරෙන බිහිසුණු ප්‍රහාරවලින් දිවි ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි රඛයින් ප්‍රාන්තික රෝහින්ග්‍යා වරුන් සිටි නිවසට ඉන් අනතුරුවත් පහර දෙනු සමාජ මාධ්‍ය ජාල වල දැක්විනි.

ත්‍රස්තවාදී චෝදනා


අත දරුවන් රැගත් රෝහින්ග්‍යා මව්වරුන් වෙත අත දිගු කරමින් ඔවුන් “මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ ත්‍රස්තවාදීන්,” බවට සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න තෙරුන් චෝදනා කරනු එහිදී දකින්නට ලැබුනි.

රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස පසුව බූස්ස රැඳවුම් කඳවුරට ගෙන ගොස් තිබේ.

උතුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 30 දා අත් අඩංගුවට ගන්නා ලද එම රෝහින්ග්‍යා වරුන් පිරිස සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය භාරයට අධිකරණය විසින් පත් කරන ලද්දේ අගෝස්තු 9 දා ය.

බෞද්ධ සමූහයක් ඔවුන් සිටි නිවසට කඩා වැදුනේ එක්සත් ජාතීන් විසින් ගල්කිස්සේ රඳවා තබා සිටියදීය.

ප්‍රහාරයට ටික දිනකට පෙර නිකුත් කරන ලද නිවේදන මගින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරදී හමුවූ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමය සම්බන්ධයෙන් ප්‍රසාදය පල කර තිබු බවයි.



සංහිඳියා ප්‍රගතිය

මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් රටේ දියත් කර ඇති ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරිමෙන් පසුව ශ්‍රී ලංකාව “මෙම කරුණු සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු කියා සිටියේ යයි සැප්තැම්බර් 23 වෙනිදා ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරය සඳහා සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එජා මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් අතර පැවති හමුවකදී “සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරන ප‍්‍රයත්නයේදී ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට” මහ ලේකම්වරයා පොරොන්දු වු බවද එම ඒකකය නිවේදනය කළේය.

කෙසේ වෙතත්, යුද පීඩිත ජනතාවට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මන්දගාමී බවට ජිනීවා හිදී කනස්සල්ල පල කළ මානව හිමිකම් ප්‍රධානියා දී ඇති ප්‍රතිඥා ඉටු නොකෙරෙන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ශ්‍රී ලංකාව ගෙනයාම අත්‍යාවශ්‍ය වනු ඇති බවට අනතුරු අඟවා තිබුනි.

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමයේ ප්‍රගතිය සියැසින්ම දැක බලාගනු පිණිස එක්සත් ජාතීන්ගේ මහලේකම් සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දෙපලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරාධනය කර තිබේ.


මියන්මාරයේ රෝහින්ග්‍යා විරෝධි ප්‍රහාර හේතුවෙන් හාර ලක්ෂ තිස්දහසකට ආසන්න මුස්ලිම් ජනකායක් එරට හැර ගිය බව එක්සත් ජාතීන් ගේ වාර්තාවල දැක්වේ.
සරණාගතයින් බූස්ස රැඳවුම් බාරයට

ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයින් පිරිස බූස්ස හමුදා රැඳවුම් භාරයේ තැබීමට කටයුතු කළ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උසාවි නියෝගයක් ලැබෙන තෙක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්ය.




« PREV
NEXT »

Facebook Comments APPID