BREAKING NEWS
latest

728x90

468x60

අහංගම ඉදිකරමින් තිබූ හෝටලයක්‌ බිමට කඩා වැටේ - වැඩ කරමින් සිටි 6 ක්‌ රෝහලේ

අහංගම තිත්තගල්ල අලවතුකිස්‌ස පොස්‌හේන ප්‍රදේශයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව් මහල් හෝටල් සංකීර්ණයක්‌ ඊයේ (18) පෙරවරුවේ කඩා වැටීමෙන් එහි වැඩ කරමින් සිටි හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

ඊයේ 18 පෙරවරුවේ මොවුන් මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී එකවරම ඉහළ මාලයේ කොන්ක්‍රීට්‌ තට්‌ටුව කඩා වැටී ඇති අතර ඒ සමග මහල් හතරම බිමට සමතලා වී තිබේ. මෙකී හෝටල් සංකීර්ණයේ ඉහළම මාලයේ ස්‌ලැබ් තට්‌ටුව දමා ඇත්තේ මීට දින පහකට ඉහතදී පමණ බවද පැවසේ. මෙහි ඉදිකිරීම්වල නිරතව සිටි සේවකයන් ස්‌ලැබ් තට්‌ටුවේ මුක්‌කු ගලවමින් සිටියදී ස්‌ලැබ් තට්‌ටුව කඩා වැටී තිබේ. ඒ සමග එහි සිටි අය ඉවතට දිවගොස්‌ තිබේ. මේ නිසා මොවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇතත් එහි සිටි අයකුගේ පාද සුන්බුන්වලට යටවී තිබේ.

ඔහු බේරා ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීන් හා සහන සේවකයෝ දැඩි පරිශ්‍රමයක්‌ දරනු ලැබූහ. පැය තුනක පමණ මෙහෙයුමකින් පසු සුන්බුන් අතර හිරවී සිටි පුද්ගලයා බේරා ගැනීමට හැකිවී ඇත. කොන්ක්‍රීට්‌ කණු කපා ඉවත්කොට සිරවී සිටි පුද්ගලයා බේරා ගැනීමට සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක්‌ දැරූ අතර එම පුද්ගලයාට ක්‍ෂණිකව ප්‍රථමාධාර ලබාදීමට පැමිණි සෞඛ්‍ය සේවකයෝ කටයුතු කළහ.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කහඳ ප්‍රදේශයේ පදිංචිකරුවන් හය දෙනෙකි. මෙකී හෝටල් සංකීර්ණය තල්පෙ ප්‍රදේශයේ හෝටල් ව්‍යාපාරිකයකු විසින් ඉදිකරගෙන යන අතර නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් කටයුතු සිදුකොට ඇතැයි පැවසේ.

සිව් මහල් ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතුව ඇති අතර එම මෙම ගොඩනැඟිල්ලට අනුමැතිය ලබා තිබේදැයි පරීක්‍ෂා කරන බව එම ස්‌ථානයේදී අපට හමුවූ හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පැවැසුවාය.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කහඳ ප්‍රදේශයේ ඥති පවුල් කීපයක සේවකයින් පිරිසක්‌ බවද වාර්තාවේ. අනතුර සිදුවූ ස්‌ථානයට ගාල්ල පොලිස්‌ අධිකාරි ගිනිගේ මහතාද පැමිණ සහන කටයුතු මෙහෙයවමින් සිටියේය.
« PREV
NEXT »

Facebook Comments APPID