BREAKING NEWS
latest

728x90

468x60

විද්‍යා ඝාතකයෝ හතක්‌ පෝරකයට චෝදනා 41 ටම වරදකරුවෝ වෙති

මහත් ආන්දොලනයට තුඩු දුන් යාපනය විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන ස්‌වීස්‌ කුමාර ඇතුළු හත්දෙනකු වරදකරුවන් බවට තීන්දු කළ යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම විත්තිකරුවන්ට ඊයේ දහවල් (27 වැනිදා) 1.26 ට මරණීය දණ්‌ඩනය නියම කළහ. 

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් හත්දෙනාට එල්ලවී තිබූ චෝදනා 41 ටම වරදකරුවන් බව ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා විසින් ලබාදෙන දිනයක හා වේලාවකදී ඔවුන් ප්‍රාණය නිරුද්ධවන තුරු එල්ලා මරා දමන ලෙසද නියෝග කළහ.


විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ සැකකරුවෝ දෙදෙනෙක්‌ රජයේ සාක්‍ෂිකරුවන් වීම නිසා ඔවුහු නිදහස්‌ කරනු ලැබූහ.

මේ අතර මරණ දඬුවමට අමතරව විත්තිකරුවන්ට තිස්‌වසර බැගින් වූ සිරදඬුවම්ද රුපියල් හතළිස්‌ දහස බැගින් දඩ මුදලක්‌ද විද්‍යා ශිෂ්‍යාවගේ මවට රුපියල් දස ලක්‍ෂය බැගින් වන්දි ගෙවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් නියෝගයේ සඳහන්ව ඇත.

අදාළ වන්දි මුදල නොගෙවුවොත් එම වරදකරුවන්ට තිස්‌වසරක වූ සිර දඬුවමට අමතරව තවත් දෙවසර බැගින් වූ සිරදඬුවම් ලබාදෙන ලෙසද නියෝග කර තිබේ.

මෙම ඓතිහාසික තීන්දුව ලබාදෙමින් යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විද්‍යා ඝාතන සිද්ධියේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි බී. එස්‌. තිසේරා සහ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහත්වරුන්ට විශේෂ ස්‌තුතියක්‌ද කර ඇත.

මෙම මහා අපරාධය සම්බන්ධයෙන් වූ විමර්ශන අපක්‍ෂපාතීව කඩිනමින් සිදුකර ඊට සම්බන්ධ සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශේෂ ස්‌තුතියක්‌ පිරිනමන බව යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති ශෂී මහේන්ද්‍රන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස ශෂී මහෙන්ද්‍රන් මහතා කටයුතු කළ අතර මහාධිකරණ විනිසුරුවරුන් වන අන්නා ලිංගම් රවී ශංකර් සහ මාණික්‌කවාසිගර් ඉලංෙච්රියන් මහත්වරුද ඊට ඇතුළත් වූහ.

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා විසින් දෙමළ භාෂාවෙන් වෙන වෙනම තම නියෝග ප්‍රකාශයට පත්කරන ලදී.

විද්‍යා ශිෂ්‍යයාව පැහැරගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතර ගෝපාලසිංහම් ජයකුමාර් හෙවත් රවී, ගෝපාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්, මහලිංගම් ශෂිධරන්, පිල්ලෙනාදන් චන්ද්‍රකාශන්, ෂිව දේවන් තුෂාන්තන් ජෙයදරන් කෝකිලන්, මහලිංගම් ෂසි කුමාර් හෙවත් ස්‌විස්‌ කුමාර් වෙති.

මෙම ඓතිහාසික නඩු තීන්දුව දැකබලා ගැනීම සඳහා විද්‍යා ශිෂ්‍යාවගේ මව ඇතුළු ඥාතීහු විශාල පිරිසක්‌ අධිකරණය වෙත පැමිණ සිටි අතර පන්දහසකට ආසන්න පිරිසක්‌ද යාපනය මහාධිකරණයට සහ ඒ අසලට පැමිණ සිටියහ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යාපනය පොලිසිය මෙන්ම යුද හමුදාවද මහාධිකරණ භූමිය අවට ආරක්‍ෂාවට යොදවා සිටියහ.

විද්‍යා ඝාතන නඩු තීන්දුව ලබාදීමට මොහොතකට පෙර ඇගේ මෑණියන් වන ශිවලෝගනාදන් සරස්‌වතී මහත්මිය අධිකරණ ශාලාවේ සිහිසුන්ව ඇද වැටිණි.

පිටු 332 කින් සමන්විත වූ මෙම නඩු වාර්තාව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

යාපනය මහාධිකරණයේදී මෙම නඩුව විභාග වීම ආරම්භ වූ දා පැමිණිල්ලේ ආරම්භක දේශනය පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩී. එස්‌. ජී. කුමාරත්න මහතා පැමිණිල්ලේ සාක්‍ෂි මෙහෙයවීය.

විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන යැම, ඊට සැලසුම් කිරීම, සමූහ දූෂණය කිරීම, ඝාතනය කිරීම ඇතුළු චෝදනා 41 ක්‌ සම්බන්ධයෙන් ස්‌විස්‌ කුමාර් ඇතුළු විත්තිකරුවන් හත්දෙනා වෙත චෝදනා 41 ක්‌ ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

ශිවලෝගනාදන් විද්‍යා නමැති 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව යාපනය කයිට්‌ස්‌ පුන්ගු=ඩුතිව් පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී ඝාතනයට ලක්‌වන්නේ 2015 වර්ෂයේ මැයි මස 13 වැනිදා පෙරවරුවේය. ඇය සිය පාපැදියෙන් පාසලට යමින් සිටියදී අතරමග රැක සිටි අපරාධකරුවන් ඇය කැලෑවට ඇදගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර ගෙල මිරිකා ඝාතනය කර තිබිණි. විද්‍යා ශිෂ්‍යාවගේ නිරුවත් සිරුර ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් පසුව සොයා ගන්නා ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ පුන්ගුඩුතිව් ප්‍රදේශයේ ජනතාව එහි ප්‍රධාන විත්තිකරු වූ මහාලිංගම් ශෂීදරන් හෙවත් ස්‌විස්‌ කුමාර් නමැත්තා අල්ලාගෙන පහරදී ගස්‌බැඳ පොලිසියට භාරදී තිබිණි.

පසුව ස්‌විස්‌ කුමාර් පොලිස්‌ අත්අඩංගුවෙන් බේරී කොළඹට පලා ගියේ ස්‌විස්‌ටර්ලන්තයට පැන ගැනීම සඳහාය. අත්අඩංගුවට පත්වූ ස්‌විස්‌ කුමාර්ට පොලිසියෙන් බේරී පලායැමට ආධාර අනුබල දුන් බවට එවකට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිව සිටි ලලිත් ජයසිංහ මහතාට චෝදනා එල්ල විය.

ලලිත් ජයසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ අතර මීට සති කීපයකට පෙර ඇප මත මුදාහරින ලදී. කොළඹට පලා ගිය ස්‌විස්‌ කුමාර් පසුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර වනිතා කටයුතු පිළිබඳ ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියද ස්‌විස්‌ කුමාර්ට පලායැමට අනුබලදී ඇති බවට යාපනය මහාධිකරණයට ඉදිරිපත්වූ සාක්‍ෂියක්‌ මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණේ ඒ සම්බන්ධයෙන් ක්‍රමවත් විමර්ශනයක්‌ සිදුනොවූ නිසාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනවිරත්න හා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ යාපනයට ගිය සහකාර පොලිස්‌ අධිකාරී බී. එස්‌. තිසේරා සහ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් කළ විමර්ශනවලින් මෙම අපරාධයට සම්බන්ධව තොරතුරු හෙළිකර ගැනීමට හැකිවිය.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌ කුමාර් මෙහිදී පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතාට රුපියල් කෝටි දෙකක අල්ලස්‌ මුදලක්‌ ලබාදී බේරී යැමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ස්‌විස්‌ කුමාර් නමැත්තාගේ අවශ්‍යතාව මත මෙම අපරාධය සිදුවූ බව විමර්ශන වලින් අනාවරණය වී තිබිණි.

ආසියාතික රටවල කාන්තාවන් සමූහ දූෂණයට ලක්‌කරන දර්ශන ඇතුළත් වීඩියෝ පට වලට යුරෝපා රටවල විශේෂ ඉල්ලුමක්‌ ඇති බව කියමින් ස්‌විස්‌ කුමාර් මෙම අපරාධය සැලසුම් කළ බව විමර්ශනවලදී හෙළිවිය.

ස්‌විස්‌ කුමාර් ස්‌විස්‌ටර්ලන්තයේ සිට විශේෂ කැමරාවක්‌ මෙම අපරාධකරුවන් වෙත එවා තිබූ අතර ඔවුන් විද්‍යා දූෂණය කර ඝාතනය කරන අයුරු වීඩියෝගත කර තිබුණේ එම කැමරාවෙන්ය.

විද්‍යා දූෂණයට ලක්‌කර ඝාතනය කරන අයුරු අඩංගු වීඩියෝ පට සියල්ල අපරාධකරුවන් විසින් විනාශ කර තිබීම නිසා එය පොලිසියට සොයා ගැනීමට නොහැකි විය.
« PREV
NEXT »

Facebook Comments APPID