BREAKING NEWS
latest

728x90

468x60

ලොතරැයි දිනුමට ඇදුණ කෝටි 05ක් ඉවරවෙනකල් කුඩු ගැසූ රසිකනම් මල් වෙළෙන්දා

මල් වෙළෙන්දකු ලෙස ජීවිකාව කරමින් සිටි අයෙකුට රුපියල් කෝටි පහේ ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පසු ඔහුගේ ජීවිතය හොඳ අතට වෙනුවට නරක අතට වෙනස් කරගෙන මුදල් සියල්ල ඉවර වෙනතුරු කුඩුගසා ජීවිතය නැතිනාස්තිකරගත් පුවතක් ඊයේ අනුරාධපුර අධිකරණයෙන් වාර්තා විය.

මීට වසර තුනකට ඉහත දී රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමි වී තිබුණ ඔහු අනුරාධපුර ගල්කඩවල ලිපිනයේ පදිංචි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස (40) නම් වන දෙදරු පියෙකි.


ඔහු ලොතරැයි ජයග්‍රහණය ලද කාලයේ හතර අතේ සිටි දුස්චරිත මිතුරන් ඔහු වටකරගෙන නරක දේට මුදල් යෙද වූ බව ඔහුගේ බිරිය අධිකරණයේ දී පවසා තිබේ.

ගත වූ වසර 05 ක කාලය තුළ හෙරොයින් හා ගංජා භාවිතය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි 06කට ඔහු අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර පසුගිය දා පෙනී සිට ඇත්තේ 07 වැනි වතාවට ය.

හෙරොයින් වෙළෙඳාම මගින් ලොතරැයියට ලැබුණ මුදල දෙතුන් ගුණයකින් ඉහළ දමාගත හැකි බව ඔහුට සමීප වූ කූට මිතුරන් යෝජනා කර තිබෙන අතර මේ නිසා ඔහු ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කර ඇත.

ටික කාලයක් යහමින් මුදල් ලැබුණත් අවස්ථා රැසක දී නීතියේ රැහැනට අසු වී ඔහුගේ මත්කුඩු ව්‍යාපාරය අඩාළ වී තිබේ.

මේ වනවිට ඔහු මත් කුඩු වෙළෙඳාම නොකළත් ඒවාට තදින් ඇබ්බැහිවීම හේතු කොට ජීවිතය විනාශ කරගෙන තිබේ. ඔහුගේ දරු පවුලට ජීවත්වන්නට ද දැන් මාර්ගයක් නැති බව අධිකරනයේ දී කරුණු අනාවරණය විය.

හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ ඔහු ඊයේ (13) පුනරුත්ථාපන කඳවුරට ඇතුළත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් නියෝග කළේ ය.

වසරක කාලයක් පුනරුත්ථාපන කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔහුව යොමු කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID