BREAKING NEWS
latest

728x90

468x60

කෞෂාල් ලොකුආරච්චි ඩැහැ ගැනීමට බුකී කාරයන් හඹා ආ හැටි මෙන්න

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුදලට තරග පාවාදෙන ආකාරය ගැන විස්‌තර දැන ගැනීම ක්‍රිකට්‌ මැච් එකක්‌ බැලීම තරමට ම උද්යෝගිමත්ය.

හොරකම වරදකි. සිදුවීමට යන හොරකමක්‌ සම්බන්ධයෙන් කරුණු කල් තියා දැන සිටින එම හොරකමට සම්බන්ධ නැති කෙනකු, ඒ බව පොලිසියට නොදැන්වීම ද වරදකි.

ක්‍රිකට්‌ ක්‍රීඩක කෞෂාල් ලොකුආරච්චිට ද එවැනි යමක්‌ සිදුවිය. එම සිද්ධිය ගැන කීමට පෙර අවාසනාව එක දිගට ඔහු වෙත ආ ආකාරය පිළිබඳ කතාව මෙසේය.

තුන් ඉරියවු දක්‍ෂතාවයෙන් හෙබි වමත් පිතිකරුවකු වන කෞෂාල් ලොකුආරච්චි වසර 2003 අගෝස්‌තු මාසයේ 16 වැනි සෙනසුරාදා පාන්දර කොළඹ නුවර පාරදිගේ සිය රථය පදවා ගෙන එමින් සිටියේය. කඩවතට කිට්‌ටුවන විට ඔහුට සුක්‌කානම මතම නින්ද ගියේය. ඔහුගේ පාලනයෙන් ගිලිහුණු රථය පාරෙන් ඉවතට පැන අසල බස්‌ නැවතුමක සිටි මගීන් දෙදෙනකු ද යට කරගෙන ගොස්‌ තාප්පයක වැදී නතර විය.

මගීන් දෙදෙනා මවක හා පුතෙකි. ඔවුන් ඒ අලුයම් කාලයේදී මහමඟ අයිනට වී බලා සිටියේ කොළඹ යන බසයක්‌ එන තුරුය. අනතුර සිදුවීමෙන් බරපතළ තුවාල ලද මව සහ පුතා රාගම රෝහලට ඇතුළත් කරන ලදී. ස්‌වල්ප වේලාවකට පසු මව මිය ගියාය. සුළු තුවාල ලබා සිටි ලොකුආරච්චි කඩවත පොලිසියේ අත්අඩංගුවට පත්ව එදින සවස 6 ට මහෙස්‌ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රුපියල් 50000 ක මුදල් ඇපයක්‌ මත නිදහස්‌ විය.

මාරක අනතුර සිදුවූ දා අලුයම ලොකුආරච්චි ආපසු යන්නේ රාත්‍රී සාදයකට සහභාගීවීමෙන් පසුවය. ඔහුගේ ශරීරයෙහි මද්‍යසාර තිබුණේද යන්න ගැන පැහැදිලි තොරතුරු නැත. අනතුරින් පැය කිහිපයකට පසු උදේ වරුවේ ඔහු මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ඉඩ තිබුණ ද පොලිසිය එම පියවර ගත්තේ එදින සවස 6.30 ටය. එනම් අනතුරින් පැය 14 කට පමණ පසුය. එය ශරීරගත වූ මත්පැන් වල සැර බැස යැමට තරම් ප්‍රමාණවත් කාලයකි. කෙසේ වූවද සිද්ධිය සැලවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය (ක්‍රිකට්‌ ආයතනය) ඔහුට තාවකාලික ක්‍රිකට්‌ තහනමක්‌ පැනවීය. එයට හේතුව, ඔහු අනතුර සිදුවූ දින, ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ පුහුණු සැසියකට අනුයුක්‌තව සිටීමය. ක්‍රිකට්‌ තහනම පනවා මාස 4 ක්‌ පසු එය ඉවත් කරන ලදී. එහෙත් කෞෂාල් ලොකුආරච්චි ඉදිරි වසර 2 ක්‌ සඳහා ක්‍රිකට්‌ පාලන මණ්‌ඩලයේ පරීක්‍ෂාව යටතේ සිටිය යුතු බව තීන්දු විය. එය පරිවාස කාලයකි.

ඩකා ග්ලැඩියේටර්ස්‌ නමින් ක්‍රිකට්‌ සමාජයක්‌ බංගලාදේශයේ තිබේ. 2009 දී ස්‌ථාපිත කෙරුණු මේ ක්‍රිකට්‌ සමාජයේ මුල් නම ඩකා ඩයිනමයිට්‌ස්‌ ය. පිහිටුවා වසර දෙකකට පසු ඩකා ඩයිනමයිට්‌ස්‌ ක්‍රිකට්‌ සමාජය එහි අයිතිකරුවන් විසින් ඩොලර් ලක්‍ෂ 55 කට හෙවත් ලංකාවේ මුදලින් රුපියල් බිලියනයක්‌ ඉක්‌මවන ප්‍රමාණයකට ඉයුරෝ සමූහ ව්‍යාපාරය නමැති සමාගමකට විකුණන ලදී. ක්‍රීඩා සමාජයේ සහ එහි ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නම ඩකා ග්ලැඩියේටර්ස්‌ යනුවෙන් වෙනස්‌ කෙරෙන්නේ ඉන් පසුවය. ඒ වනවිටත් ඩකා ග්ලැඩියේටර්ස්‌, ඔ20 තරගවලට සහභාගී වෙමින් ජාතික ක්‍රිකට්‌ ලීගයේ සාමාජිකයකු ලෙස ක්‍රීඩා කළේය. කලක්‌ ගතවන විට ඉයුරෝ සමූහ ව්‍යාපාරය බෙහෙවින් දූෂිත කොම්පැණියක්‌ බව ලොවට හෙළිවිණ. එහි ප්‍රතිඵලය වූයේ සේවකයන් 55000 ක්‌ සිටින Beximo නමැති සමාගමක්‌ විසින් ලංකාවේ මුදලින් රුපියල් බිලියන 2 ක්‌ පමණ ගෙවා ඩකා ග්ලැඩියේටර්ස්‌ ක්‍රිකට්‌ සමාජය මිලට ගැනීමය. යළි එහි නම ඩකා ඩයිනමයිට්‌ස්‌ ලෙස මාරු කරන ලදී. 2015 බංගලාදේශ ප්‍රීමියර් ලීග් කුසලාන තරගාවලියට අවතීර්ණ වූ අවස්‌ථාවේදී මෙහි නායකයා වූයේ කුමාර සංගක්‌කාරය. දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වන Mickey Arthur එම ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පුහුණුකරු විය.

වසර 2013 දී බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රිකට්‌ වංචාවන් කිරීමේ තැතක්‌ මතුවිය. මෙම උත්සාහයේ එක්‌ පාර්ශවකරුවකු වූයේ ඩකා ග්ලැඩියේටර්ස්‌ කණ්‌ඩායමේ අයිතිකරුවන්ගෙන් එක්‌ අයෙකි. එය මුදලට තරගය පාවාදීමේ වැඩපිළිවෙළකි. එම වැඩපිළිවෙළට එකතුවන ලෙස ආරාධනාවක්‌ කෞෂාල් ලොකුආරච්චිට ද ලැබිණ. එහෙත් ඔහු එය ප්‍රතික්‍ෂේප කරමින් ඩොලර් ලක්‍ෂයක්‌ පමණ ලබාගැනීමට තිබූ අවස්‌ථාවක්‌ නැතිකර ගත්තේය.

එහෙත් පසුව මෙය හෙළි විය. කෞෂාල් ලොකුආරච්චිට එරෙහිවද චෝදනා ගොනු කරන ලදී. එම චෝදනාව වූයේ මුදලට තරගය පාවාදීම සම්බන්ධයෙන් ඔහුට කෙරුණු යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට නොදැන්වීමය. මේ සම්බන්ධයෙන් තමා වරදකරු බව පිළිගන්නේ යෑයි කෞෂාල් ලොකුආරච්චි ලංකා ක්‍රිකට්‌ ආයතනයේ දූෂණ මර්දන අංශයේ විනිසුරු මණ්‌ඩලයට දැන්වීය. ඔහුට මාස 18 ක ක්‍රිකට්‌ තහනමක්‌ පනවන ලද්දේය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රීති වලට අනුව පහත සඳහන් කරුණු උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි වෙයි.

1. ක්‍රිකට්‌ තරග පරදුවට තබා සූදු කෙළීම හෙවත් ඔට්‌ටු ඇල්ලීම.

2. Match fixing හෙවත් බාහිර පාර්ශවයන් වෙතින් ලැබෙන මුදල් හෝ භාණ්‌ඩ ලබා ගැනීම හෝ ලබා ගැනීමේ අභිලාෂයෙන් ක්‍රීඩා තරගයක්‌ පැරදවීමට ඉදිරිපත් වීම.

3. ඉහත සඳහන් කාරණා දෙක සම්පූර්ණ කිරීමට ක්‍රීඩකයන් පෙළඹවීම.

4. Match fixing පිළිබඳ කල්තියා දැනගැනීමට ලැබෙන කරුණු බලධාරීන් වාර්තා නොකර වසං කිරීම.

5. ඉහත සඳහන් කරුණු හතරට කවර හෝ ආකාරයෙන් සම්බන්ධ විය හැකි වෙනත් වැරදි.

විශේෂ ලියුම්කරුවකු විසිනි
« PREV
NEXT »

Facebook Comments APPID