BREAKING NEWS
latest

728x90

468x60

මහවැලියේ ගහගෙන ගිය අරාබියේ අටක්‌ බේරාගත් මෙහෙයුම

විනෝද වීමට ගොස්‌ දියේ ගිලී මියගිය සිද්ධීන් පිළිබඳ වාර්තා අපි අනේක වාරයක්‌ අසා ඇත්තෙමු. ගිලී මිය යා නොදී දිවි බේරා ගැනීමට පිරිමින් පැමිණි බැවින් තමාව අල්ලන්න එපා යෑයි කෑ ගැසූ ගැහැනුන් පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එවැනි පුවතක්‌ සැලවූයේ පසුගියදා මහනුවර ගන්නෝරුවෙනි. අවදානම් ස්‌ථානයක සුන්දර අත්දැකීමක්‌ අත්විඳීමට බෝට්‌ටුවකින් ගොස්‌ එය පෙරලී ජීවිතයත් මරණයක්‌ අතර සටනක්‌ කරමින් දිවි ගලවා ගැනීමට සෞදි සංචාරකයන් පිරිසක්‌ උත්සහ කරත්දී අප මෙතෙක්‌ අසා නොතිබූ මෙම අපූරු සිද්ධියට මුහුණ දුන්නේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගන්නෝරුවේම තරුණ පිරිසකි.

පේරාදෙණිය මහනුවර හා කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථාන ත්‍රිත්වයටම අයත් මහැවලි නදී සීමාවේ සිදුවූ මෙම සිද්ධියෙන් එක්‌ විදෙස්‌ විශ්වවිද්‍යාල සිසුවියකට දිය අහිමිවූ අතර ප්‍රදේශවාසීන්ගේ සහයෙන් අටදෙනකුගේ දිවි ගලවා ගැනීමට හැකිවිණි. දාහතර දෙනකුගෙන් යුත් එකම පවුලේ පිරිසක්‌ සෞදි අරාබියේ සිට පැමිණියේ මෙයට දින කිහිපයකට පමණ ඉහතදීය. ශ්‍රීලංකාවේ සුන්දර ස්‌ථාන දැකබලා ගනිමින් විනෝද වීම ඔවුන්ගේ අරමුණ වී තිබිණි. රාමාසාන් උපවාස සමය නිම වීමත් සමඟ පවුලේ සැම එක්‌ව විනෝදයෙන් ගත කිරීම පිරිස ඔවුන් මහනුවර තෝරාගෙන තිබුණහ. පසුගිය කාලය තුළ නොනවත්වා ඇද හැළුණු ධාරානිපාත වාර්ෂාවත් සමඟ වෙනදාට වඩා වැඩි ජල කඳක්‌ රැගෙන මහවැලි ගංගාව ගලා ගියේ එහි සුන්දරත්වය තවත් ඔප් නංවමිනි. සෞදියේ සිට පැමිණි පිරිසද මහවැලි නදියේ සුන්දරත්වය දැක අමන්දානන්දයට පත්වූවට සැක නැත. මේ නිසාම ඔවුන් මහවැලි නදියේ බෝට්‌ටු සවාරියක්‌ යන්නට දෙවරක්‌ නොසිතා තීරණය කළහ....

බෝට්‌ටු සවාරිය සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ ගඟේ අති බිහිසුණුම ස්‌ථානවලින් එකක්‌ යෑයි කීම වරදක්‌ නොවේ. සමනල කඳු මුදුනේ සිට කිලෝ මීටර 335 ක දුරක්‌ ගෙවා දමමින් ත්‍රිකුණාමලයෙන් මුහුදට ඇදවැටෙන මහවැලි ගඟේ පළලම හා පටුම ස්‌ථානය තිබෙන්නේ සෞදි ජාතිකයන් පිරිස බෝට්‌ටු සවාරිය සඳහා තෝරාගත් ප්‍රදේශයේය. හත්කිඳ දූපත් නමින් හඳුන් වන කුඩා දූපත් සමූහක්‌ ද මෙම ස්‌ථානයේ පැවතීම නිසා ජල කඳ ගලා යන්නේ ඒවාට වෙට්‌ටු දමමිනි. මේ නිසාම නිතර සුළි ඇතිවන ස්‌ථානයක්‌ ලෙසින් ප්‍රකට මෙහි පසුගිය කාලය තුළ මියගිය ගණන සියයකට අධිකය. මෙමඟින්ම එහි ඇති අවදානම් තත්ත්වය තේරුම් ගැනීමට පුළුවන.

සෞදියේ සිට පැමිණි 14 දෙනා අතරින් බෝට්‌ටු සවාරියට එක්‌ වූයේ 08 දෙනකු පමණි. ඒ අතර කාන්තාවන් තිදෙනකු ද වූහ. බෝට්‌ටුව පැදවූයේ එවැනි සවාරි සඳහා ගොස්‌ අත්දැකීම් ඇති අයෙකි. ගමන ආරම්භ කර මෙම සංචාරකයන් පිරිසට ගමන් ගැනීමට හැකි වූයේ මීටර පන්සීයකටත් අඩු දුරකි.....

මම ගඟ දිහා බලාගෙන හිටියේ සීමා මාලකයේ උඩ ඉඳලා. අමරපුර නිකායේ උපසම්පදා කටයුතු සිදුකෙරෙන සීමා මාලකයේ පේන්ට්‌ වැඩ කරමින් තමයි මම හිටියේ. ඈතින් පැද්දි පැද්දී බෝට්‌ටුවක්‌ එනවා මම දැක්‌කා. ඒකෙ කට්‌ටිය පිරිලා හිටියේ. වතුර පාර සැර නිසා බෝට්‌ටුව වේගයෙන් පහළට ආවා. මම වැඩ නවත්තලා ඒක දිහා බලාගෙන හිටියා. එක පාරටම බෝට්‌ටුව පෙරලෙන්න වගේ ගියා. ඒ විගසම බෝට්‌ටුව ඇතුළේ හිටපු හැමෝම වතුරට වැටුණා. ඈතට පෙණුන විදිහට වැටුණු මිනිස්‌සු වතුර පහරට ගහගෙන ගියා. කීප දෙනෙක්‌ පෙරළුණු බෝට්‌ටුවේ එල්ලෙන්න උත්සහ කළා. බෝට්‌ටුවත් වතුර පාරට අනිත් පැත්ත හැරිලා ගහගෙන ගියා. මම පුළුවන් හයියෙන් උදව් ඉල්ලා කෑ ගැහුවා. වටේ පිටේ හිටපු කොල්ලෝ ටික ඒ එක්‌කම දුවගෙන ආවා. එක පාරටම වතුරට බහින්න ඒ අය බය වුණා. ඒ වතුර පාර සැර නිසයි. ඒ වෙනකොට ගඟට වැටුණ අය ගල්වලයි ගස්‌වලයි එල්ලිලා කෑ ගහනවා ඇහුණා. කොල්ලෝ දෙන්නෙක්‌ වතුරට පැනලා ඒ අය පැත්තට පීනුවා. ටික වෙලාවකට පස්‌සේ පොලීසියත් ආවා.

බේරගන්න ගිය අය පුළුවන් විදිහට එක එක විදිහට ගොඩට ගත්තා. පුදුම වැඩේ කියන්නේ ගලක එල්ලිලා හිටපු සුදු නෝනා කෙනෙක්‌ හයා හයා කියලා කෑගැහුවා. ඒ වතුරක්‌ නොවේ එයාව බේරගන්න යන අයට එයාව අල්ලන්න දෙන්නෙත් නැහැ. පස්‌සේ තමයි අපි දැනගත්තේ ආරාබි ජාතික කාන්තාවක්‌ කියලා. ගොඩට ආපු කාටවත් අපේ භාෂාව තේරුණේ නැහැ. ඒ අය බය වෙලා හිටියේ. බෝට්‌ටුව පදවපු මහ කන්ද පැත්තේ තරුණයා ගොඩට ගත්තට ඒ වෙලාවේ කතා කරගන්න බැරුව බය වෙලා හිටියේ. ඒ නිසා එයාව ඉක්‌මනින්ම ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා... සිද්ධිය සියෑසින් දුටු සමරතුංග එසේ කීවේය.

බෝට්‌ටුව පෙරලී ගොස්‌ තිබුණේ ගන්නෝරුව දෙවැනි රාජසිංහ මාවත ඇරඹුමේදීය. එය හල්ඔළුව සීමා මාලකය පසුකර කිලෝමීටර තුනක පමණ දුරකින් පිහිටි කටුගස්‌තොට නගරය ආසන්නය තෙක්‌ම ගසා ගෙන ගොස්‌ තිබිණි. එබැවින් මෙම අනතුර සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීමේ වගකීම පේරාදෙණිය මහනුවර හා කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථානවලට පැවරී තිබිණි. බෝට්‌ටුවේ පැමිණි පිරිස හා ඔවුන් බේරාගත් පිරිස අතර සන්නිවේදනයේ පැවැති දුර්වලතාව හේතුවෙන් බෝට්‌ටුවේ ගමන් ගත් පිරිස කොපමණද යන්න නිවැරදි ලෙස හෙළිවී නොතිබිණි. එම පිරිස අටදෙනකු බවට විශ්වාස කළ බැවින් බේරාගත් අටදෙනා රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගත්හ. සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක්‌ නොවූ නිසා සැවොම සැනසුම් සුසුම් හෙළුවත් එම සැනසුම රැඳුණේ සුළු මොහොතක්‌ පමණි. රෝහලේදී තවත් අපූරු සිදුවීමක්‌ සිදුවිය.

මම කාලයක්‌ සෞදියේ වැඩ කරලා තිබෙනවා. එදා මම ඕ.පී.ඩී එක පැත්තේ ඉන්නකොට අරාබි ජාතිකයෝ එක දිගට හදිසි ප්‍රතිකාර ඒකකයට ගේනවා දැක්‌කා. මමත් ගියා බලන්න. දොස්‌තර මහත්තරු ඒ අය එක්‌ක ඉංග්‍රීසියෙන් කතා කළත් ඒ අයට තේරුනේ නැහැ වගේ මට දැනුනා. සිද්ධ වෙලා තියෙන්නේ මොකක්‌ද කියලා මටත් දැන ගන්න ඕන නිසා මට අරාබි භාෂාව පුළුවන් කියල දොස්‌තර මහත්තුරුන්ට කියලා මම ඒ අය එක්‌ක කතා කළා. එතකොට ඒ අය කිව්වා අපේ දුව මෙතන නෑ බලන්න කියලා. දුවගේ වයස අවුරුදු 24 ක්‌ කිව්වා. හයා අල් ජුෆ්රි නැමැති ඇය කුවේට්‌ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න බවත් කිව්වා. මම ඒ බව ඉක්‌මනින්ම දොස්‌තර මහත්වරුන්ට කිව්වා. දොස්‌තරලා ඒක පොලීසියේ මහත්වරුන්ට කිව්වට පස්‌සේ පොලීසිය එයාව හොයන්න ගියා. එසේ කියා සිටියේ මහනුවර ශික්‌ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය සහායකවරියකි.

දියේ ගිලී අතුරුදන්ව සිටි සෞදි විශ්වවිද්‍යාල සිසුවියගේ මළ සිරුර බෝට්‌ටුව පෙරළුණු ස්‌ථානයට මීටර 400 ක පමණ දුරින් තිබී නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් සොයා ගනු ලැබුවේ සිද්ධියෙන් පැය 20 කට පසුය. අනතුරක්‌ සිදුවූ විට ජාති බේද වර්ගවාද වර්ණ බේද, ආගම සංස්‌කෘතිය උස්‌මිටිකම් කිසිවක්‌ අපට උරුම නැති බව ගන්නෝරුවේ තරුණ පිරිස ලොවට කියා පෙන්වා දුන්හ. සම්ප්‍රදායන් රකිමින් සිටින ඇතැම් පිරිස්‌ තමන්ගේ ජීවිතයේ වටිනාකම තමන්ටම ඉතිරි කරදුන් ඒ පිරිසට හිස නමා ආචාර කළ යුතුය. යහපත් මිනිසත් බවක්‌ ලොව තුළ රැඳෙන්නේ එවිටය...
« PREV
NEXT »

Facebook Comments APPID