BREAKING NEWS
latest

728x90

468x60

කෝටි අටක්‌ කුඩුවලට වියදම් කර 'කූඩූ' වී මතින් මිදෙන මග හොයන මන්ත්‍රී මල්ලී

විවිධ චරිත මුණගැසෙන පැල්මඬුල්ල විශෝධන මධ්‍යස්‌ථානයේදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු ද අපට මුණගැසිණි. ඔහු ද කුඩු බී නන්නත්තාර වූ තරුණයෙකි. අවසානයේ සිය කැමැත්තෙන්ම මන්ත්‍රී අයියා සමඟ මෙම විශෝධන මධ්‍යස්‌ථානයට පැමිණි ඔහු ජීවිතය වැරැදුණු හැටි අපට කීවේය. නම්, ගම් සඳහන් කිරීමට අකැමැති වූ ඔහුව අපි දිමිත් ලෙස හඳුන්වමු. මේ දිමිත්ගේ කතාවය.

"කුඩුවලට ඇබ්බැහිවීමත් එක්‌ක මම නැත්තටම නැති වුණා. අන්තිමේ මට සමාජයම වහක්‌ වුණා. මම අයියව මුණගැහිලා ලංකාවේ ඉන්න බෑ රට යන්න ඕනෑ කියලා කිව්වා. අයියා ඒ මොහොතේම කෙනෙකුට කතා කරලා මාව දෝහා කටාර්වලට යවන්න ලෑස්‌ති කළා. දවස්‌ තුනකින් මම දෝහා කටාර්වලට ගියා. මට ජොබ් එක ලැබුණේ ඉන්ෂුවරන්ස්‌ කොම්පැණියක. එක්‌ලක්‍ෂ විසිදහසක විතර පඩියක්‌ ලැබුණා. මාස දෙකක්‌ විතර හොඳට ජොබ් එක කරගෙන හිටියා. තනිකම, පාළුව මැකෙන්න දවස තිස්‌සේ අරක්‌කු, සිගරට්‌ බිව්වා. විවිධ රටවල ගෑනු ඇසුරු කළා. ක්‌ලබ් ගියා. උපරිම ෆන් ගත්තා. ඒත් ලංකාවේ වගේ පිස්‌සු නැටුවේ නෑ. එහේ නීති තදයි. ඇඟිලි කපනවා... බෙලි කපනවා... නීතියෙන් ගැලවීමක්‌ නෑ. ඒ නිසා ක්‌ලබ්වලට ගියත් කාලා බීලා පාඩුවේ ආවා. කුඩු හොයාගෙන ගියේ නෑ. කුඩු නොබිව්වා කියලා ලොකුවට සික්‌ එකක්‌ දැනුණෙත් නෑ. කුඩුවලින් සම්පූර්ණයෙන්ම ඇත් වෙන්නම තමයි මගෙත් අදහස වුණේ. ඒත් මගේ කරුමයට කුඩු බොන කොල්ලෙක්‌ අපේ කාමරයට ආවා. සමහර දවස්‌වලට ඌ කාමරයේ තියාගෙනත් කුඩු බිව්වා. කුඩු සුවඳට මගේ හිත ආයෙත් ඇලුණා. තව එක වතාවක්‌ කුඩු චුට්‌ටක්‌ බීලා නතර කරනවා කියලා හිතිලා එක පාරක්‌ බිව්වා. ඒත් මම සම්පූර්ණයෙන්ම කුඩුවලට ඇඩික්‌ වුණේ නෑ. ඉඳලා හිටලා මාසයකට වතාවක්‌ වගේ කුඩු බිව්වා..."



"අවුරුදු දෙකහමාරකට පස්‌සේ නිවාඩුවකට මම ලංකාවට ආවා. ඒ ඇවිත් යාළුවොත් එක්‌ක සෙට්‌ වෙලා හොඳට බිව්වා, කෑවා. කල්බ් ගියා. බීච් පාටිවලට ගියා. සුද්දියොත් එක්‌ක, පරණ කෙල්ලොත් එක්‌ක ටි්‍රප් ගියා. හොඳටම ආතල් ගත්තා. ඒත් කුඩු බිව්වේ නෑ. කුඩු වෙනුවට පෙති පාවිච්චි කළා. අන්තිමේ මට පෙති නැතිවම බැරිව ගියා. තොල් කළු වෙලා, නිදි කිරා වැටෙනකොට ගෙදරින් හිතුවේ මම ආයෙත් කුඩු බොනවා කියලා. ඒ වෙනකොට මම ලංකාවට ඇවිත් මාස දෙකක්‌ විතර වුණා. ගෙනාපු සල්ලිත් සේරම ඉවරයි. අන්තිමේ අයියා වියදම් කරලා ටිකට්‌ හදලා ආයෙමත් මම දෝහා කටාර්වලට ගියා. මට මතක විදිහට 2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ දවසක්‌. එහෙට ගිහිල්ලත් දවස ගානේ පෙති බිව්වා. පෙතිවලට තදින්ම ඇබ්බැහි වුණේ සෙක්‌ස්‌වලට උත්තේජනයක්‌ විදිහට..."

"පිටරටක ගිහින් තනිපංගලමේ ඉන්නකොට ඕනෑම කෙනෙක්‌ සෙක්‌ස්‌වලට, මතට නිකන්ම හුරු වෙනවා. ඉංග්‍රීසි, ආරාබි භාෂාවත් මට හොඳට කතා කරන්න පුළුවන්. ඒත් මම වැඩියෙන්ම ඇසුරු කළේ පිලිපීන් කාන්තාවන්. ඒ අයත් හොඳට අරක්‌කු, සිගරට්‌, මත් පෙති බොනවා. ඒ කාන්තාවන් එක්‌ක සෙට්‌ වෙලා මමත් අරක්‌කු, සිගරට්‌ ඇති වෙන්න බිව්වා. දවසකට සිගරට්‌ පැකට්‌ දෙකක්‌ විතර බිව්වා. එහෙම ඉන්නකොට කුඩු ඩීල් කරන කෙනෙක්‌ මට සෙට්‌ වුණා. එයත් එක්‌ක සෙට්‌ වෙලා දෙතුන් වතාවක්‌ කුඩු බිව්වා. මම දන්නේම නැතිව ඒ යාළුව කුඩු ඩීල් කරන්න මාවත් පාවිච්චි කරලා තිබුණා. මොන වැරැද්ද කළත් හරියට ජොබ් එක කරගෙන ගියා. එහෙම ඉන්න අතරේ අපේ බොස්‌ මාරු වෙලා ලංකාවේ කෙනෙක්‌ එතැනට ආවා. එයත් එක්‌ක වැඩ කරන්න අමාරු වුණා. අපි තුන්දෙනෙක්‌ සෙට්‌ වෙලා ජොබ් එක අතහැරලා 2017 අගෝස්‌තු මාසේ 08 වැනිදා ලංකාවට ආවා. මම ආවේ වෙන කොම්පැණියක ජොබ් එකක්‌ සෙට්‌ කරගෙන දෙසැම්බර් මාසේ යන්න බලාගෙන..."

"ලංකාවට ආපු ගමන්ම වගේ අහම්බෙන් දවසක පරණ පෙම්වතියක්‌ මුණගැහුණා. මම ගෙවපු ජීවිතය ගැන එයා හොඳට දන්නවා. ඒත් මට ආදරය කළා. මාව නිවැරැදි මාර්ගයට ගන්න එයා ගොඩක්‌ උත්සාහ කළා. කැපවීම් කළා. ඒත් මම ඇදුණේ වළටමයි. මට එයාගේ ආදරය දැනුණා. මම ආදරයටත් හරිම කැමැතියි. ඒත් කිසිම කෙනෙක්‌ කියන දේකට ඇහුම්කන් දුන්නේ නෑ. ඒ වතාවේ ලංකාවට ඇවිල්ලත් ගෙනාපු සල්ලි මාස දෙකක්‌ යනකොට ඉවර කළා. අන්තිමේ මම මස්‌සිනාගේ කොම්පැණියේ පරණ ජොබ් එකට සෙට්‌ වුණා. ගමෙන් ඈත් වෙලා කොළඹට වෙලා හොඳට ජොබ් එක කරගෙන හිටියා. මාව ඒ තැනට ගෙනාවේ මගේ කෙල්ල. එයා තමයි මගේ හිත ගොඩක්‌ වෙනස්‌ කළේ..."

"ඔහොම ඉන්නකොට දවසක්‌ ක්‌ලාන්ත ගතියක්‌ ඇවිත් ඩොක්‌ටර් කෙනෙක්‌ හමු වෙලා බෙහෙත් අරගෙන එනකොට රාජගිරිය හන්දිය කිට්‌ටුවදි කොල්ලෙක්‌ මගේ වාහනයට අත දැම්මා. බලනකොට මගේ පරණ යාළුවෙක්‌. මහා පරිමාණයෙන් කුඩු විකුණපු කෙනෙක්‌. මම වාහනය නතර කරලා නග්ග ගත්තා. දුක, සැපවත් අහන්න වෙලාවක්‌ වුණේ නෑ. බයිසිකල් තුනක්‌ ඇවිත් වාහනයට හරස්‌ කරලා නතර කළා. මම වාහනය නතර කරනකොටම එහා සීට්‌ එකේ හිටපු යාළුවා දොර ඇරගෙන පැනලා දිව්වා. එක බයිසිකලයක්‌ ඌගේ පස්‌සෙන් ගියා. අනිත් බයිසිකල් දෙකේ ආපු අය බැහැලා ඇවිත් මගේ වාහනයේ දොර ඇරලා මගේ ෂර්ට්‌ එකෙන් ඇදලා ගහන්න හැදුවා. ඊට ඉස්‌සර වෙලා මම ගැහුවා. මගේ ෂර්ට්‌ එකෙන් ඇදපු කෙනාව විසි වෙලා ගිහිල්ලා පාර මැද වැටුණා. එතකොට තමයි මම දන්නේ ඒ අය පොලිසිය කියලා..."

"මගේ වාහනයට නග්ග ගත්ත යාළුවා ෆලෝ කරගෙන තමයි පොලිසිය ඇවිත් තියෙන්නේ. අන්තිමේ මාව පොලිසියට අරගෙන ගියා. ඒ යනකොට දවල් 11.45 යි. රෑ හත වෙනකම් මට වතුර පොදක්‌වත් දුන්නේ නෑ. ප්‍රේෂර් වැඩි වෙලා බෙහෙත් ගන්න ගියා කියලා කිව්වට කනකට ගත්තේ නෑ. සමච්චලයට හිනා වුණා. මම අයියටවත් කතා කරලා කිව්වේ නෑ. අඩුම තරමින් යාළුවකුටවත් කිව්වේ නෑ. රෑ හතට විතර මම ගහපු පොලිස්‌කාරයා ලොකර් එකක්‌ ඇරලා පොඩි පෙට්‌ටියක්‌ අරගෙන මා ළඟට ආවා..."

'උඹ දන්නවද මේ මොනවද තියෙන්නේ කියලා. උඹට වැඩිය දාන්නේ නෑ. බොහොම චුට්‌ටයි දාන්නේ. ඔය ගණන්කාරකම් අඩු වෙන්නත් එක්‌ක ටික කාලයක්‌ කල්දේරම් බත කාලා වරෙං...' කියලා ඒ පෙට්‌ටිය ඇරලා යෝගට්‌ හැන්දක්‌ පුරවලා කුඩු ගත්තා. අන්තිමේ මට කුඩු ග්‍රෑම් පන්සීයක්‌ දාලා පහුවෙනිදා උදේ උසාවි දැම්මා.

"උසාවි දැම්මට පස්‌සේ මම මස්‌සිනාට කතා කරලා වෙච්ච සිද්ධිය කිව්වා. උසාවියෙන් රුපියල් පන්දහසක දඩයක්‌ ගැහුවා. අයියා ඇවිත් මාව බේරගත්තා. එදා නම් අයියා මට නොසෑහෙන්න බැන්නා. අම්මත් බැන්නා. වෙච්ච සිද්ධිය කිව්වට කවුරුවත් පිළිගත්තේ නෑ. එදා නම් මට පුදුමාකාර විදිහට දුක හිතුණා. කුඩු බීලා බැනුම් ඇහුවා නම් ප්‍රශ්නයක්‌ නෑ. කුඩු නොබී නිකං නඩු කාලා බැනුම් අහන එක දරාගන්න බැරිව ගියා. මට මාව එපා වුණා. මැරෙන්න කියලා හිතාගෙන මත් පෙති පනහක්‌ එක පාර බිව්වා..."

"දවස්‌ දෙකකට පස්‌සෙ තමයි සිහිය ආවේ. දවස්‌ තුනකට පස්‌සේ ඉස්‌පිරිතාලෙන් ටිකට්‌ කැපුවේ. ඉස්‌පිරිතාලෙන් එක්‌කරගෙන එනකොට අයියා මට කිව්වා මෙන්න මෙහෙම තැනක්‌ තියෙනවා එතැනට ගිහිල්ලා ඔය මොළ ගෙඩිය සුද්ධ කරගෙන හොඳට හැදියං කියලා. එතකොට මටත් ඕනෑ වෙලා තිබුණේ වැරැදි හදාගෙන සමාජයේ යහපත් ජීවිතයක්‌ ගත කරන්න. අයියාගේ යෝජනාවට මම කැමැති වුණා. ඉස්‌පිරිතාලේ ඉඳලා ගෙදර ගිහින් දවසක්‌ ඉඳලා අයියත් එක්‌කම මේ පන්සලට ආවා. මම ආවේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් 10 වැනිදා. මේ ගෙවන්නේ හය වෙනි මාසය. දැන් හිතට පුදුමාකාර නිදහසක්‌ දැනෙනවා. සම්පූර්ණයෙන්ම හිත කුඩුවලින් ඈත් වෙලා. ඒත් මම කරපු වැඩත් එක්‌ක ගෙදර අය මාව කොහොම පිළිගනීද කියලා පොඩි සැකයක්‌ තියෙනවා. ඒ නිසා මේ පන්සලෙන් ගෙදර ගිය දවසකට මම වැඩි කාලයක්‌ ගෙදර රැඳෙන්නේ නෑ. සතියක්‌, දෙකක්‌ යනකොට රටකට යනවා. මට ඕනෑ තනි වෙන්න. යාළුවන්ගේ හුළඟවත් වදින්න කැමැති නෑ. මම නැති වුණේ නරක ආශ්‍රය නිසා..."

"දේශපාලන බලය, මුදල් එක්‌ක යාළුවො එකතු වුණා. යාළුවො තමයි මාව නරක වැඩවලට යොමු කළේ. සියලු සමාජ විරෝධී වැඩ කළා. ලෝකයේ තියෙන ගොඩක්‌ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඒ අතර අතිශය භායානක මත්ද්‍රව්‍ය තියෙනවා. මතක්‌ කරලා බැලුවොත් මම විනාශ කරපු මුදල කෝටි අටකට වැඩියි. හොඳට හිටියා නම් යාන වාහන තියාගෙන රජෙක්‌ වගේ ඉන්න තිබුණා. එහෙම වුණා නම් මේ වෙනකොට මම දේශපාලනයටත් ඇවිත්. ඒ සේරම නැති වුණා. එදා බලය, මුදල් එක්‌ක මගේ හිත දුසිරිතෙන් පිරිලා තිබුණත් දැන් පිරිසිදුයි. හිත ශක්‌තිමත්. දැන් මම නැති වෙච්ච දේවල් ගැන හිතලා විඳවන්නේ නෑ. කිසිම දේකට ආශාවක්‌ හිතෙන්නේ නෑ. දැන් මම හිතන්නේ යහපත් විදිහට ජීවිතය දිනන මාර්ගයක්‌ ගැන විතරයි..."

මතට ඇබ්බැහි වූ කෙනෙකු බෙහෙත් ඖෂධ දී සුවපත් කළ නොහැකිය. ඔහු විසින්ම මත හිතින් ඉවත් කර ගත යුතුය. දැන් දිමිත්ගේ හිත පිරිසිදුය. නැවත මතට ඇදී නොයැම ඔහුගේ එකම අභිප්‍රායයි. අපගේ ප්‍රාර්ථනාවද ඔහු මතින් තොර ජීවිතයක්‌ ගත කරනු දැකීමය.
« PREV
NEXT »

Facebook Comments APPID