BREAKING NEWS
latest

728x90

468x60

ජීවිතය කොටුකරන අසාමාන්‍ය ලජ්ජාව

ලජ්ජාව අපි කාටත් දැනෙන මානසික තත්ත්වයක්. අලුතෙන් සම්මුඛ පරීක්ෂණයකට යනවිට, නාඳුනන පිරිසක් හමුවනවිට, නැත්නම් විශ්වවිද්‍යාලයකදී යම් ඉදිරිපත් කිරීමක් කරනවිට, ඕනෑම කෙනෙකුට යම් ආකාරයක තැතිගැන්මක් හෝ ලජ්ජාවක් ඇති විය හැකියි. නමුත් “සමාජ භීතිකාව” කියන්නේ සාමාන්‍ය ලජ්ජාවක් නොවෙයි. එය මනෝ වෛද්‍ය විද්‍යාව තුළ සොයා ගෙන ඇති තවත් අසනීපයකි. මෙය භීතිය හෝ ලජ්ජාව නිසා ජීවිතය අවුල් වීම, රැකියාව කර ගෙන යාම අපහසු වීම, සමාජයෙන් ඈත් වීම වැනි නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකිය.

සමාජ භීතිකාව යනු කුමක්ද?

මෙය අපට දැනෙන සාමාන්‍ය ආතතියක් නොවේ. තමාට දැනෙන දැඩි ආතතිය නිසා එදිනෙදා ජීවිතය ක්‍රමයෙන් පිරිහීමට හෝ බිඳ වැටීමට ලක්වේ. සමාජයෙන් කොන් වෙයි. රැකියාව සහ පවුල ආශ්‍රිත ගැටලු බවට පත්වෙයි. මෙය ඔබගේ හැඟීම් සහ හැසිරීම යන දෙකටම දැඩි ලෙස බලපෑම් ඇති කරයි.

හැඟීම් සිතුවිලි සහ හැසිරීම් රටාවල දක්නට ලැබෙන ලක්ෂණ

අමුත්තන් අතරට හෝ ස්ථානවලට යෑමට ඇති බිය.

තමා අවමානයට ලක් වේ යැයි ඇති වන බිය.

තමා අනවශ්‍ය විනිශ්චයකට ලක් වේ යැයි ඇති වන බිය.

ඇස්වලින් සම්බන්ධවීමට ඇති බිය.

කතාව පැටලීම හෝ කතා කිරිමට නොහැකි වීම.

අනිත් අයගේ දැඩි අවධානයට තමා ලක් වේයැයි ඇති වන බිය.

ශාරීරිකව දක්නට ලැබෙන ලක්ෂණ

මුහුණ රතු වීම.

අධික ලෙස දහඩිය දැමීම.

හදවතේ ගැස්ම වැඩි වීම.

ඔක්කාරය වැනි ගතියක් දැනීම.

මංශ පේශීන්ගේ තද වීම.

අත් සීතල වීම හෝ යම් ආකාරයක වෙව්ලීමක් ඇති වීම.

මෙවැනි රෝගයකින් පෙළෙන ඔබට නිතරම සිතෙනුයේ තමාට මේ ඇති වී තිබෙන බිය සහ ලජ්ජාව මුහුණ දීමට ඇති අවස්ථාව අනුව අසාමාන්‍ය තත්ත්වයක් බවයි.‍ නමුත් බොහෝ දෙනා මෙය ඉතා හොඳින් දැනගෙනත් ප්‍රතිකාරවලට යොමු නොවී සමාජයෙන් පලා යාමට හෝ හුදකලා වීමට ගොදුරු වෙයි.

සමාජ භීතිකාව ඇති වන්නේ ඇයි?

මෙයට ජානමය සහ පාරිසරික හේතු යන දෙකම බලපායි. ජානවලින් සම්ප්‍රේෂණය විය හැකියි. ඔබගේ පවුලේ ළඟ ඥාතීන්ටත් මෙවැනි තත්ත්වයක් තිබේදැයි සොයා බලන්න. 

මොළයේ රසායනික ද්‍රව්‍ය - මොළය තුළ ඇති රසායනික ද්‍රව්‍යයන් වන Serotonin (සෙරොටොනින්) වල ඇති වන අසංතුලිතතාවය.

මොළයේ ව්‍යූහාත්මක වෙනස්කම්.

ඇමෙග්ඩෙලා මොළයේ ගැඹුරින් පිහිටා ඇති ඉන්ද්‍රියකි. මෙමගින් අපගේ හැඟීම් සහ බිය යන දෙකම පාලනය කරයි. ඇමෙග්ඩෙලාහි ඇති වන අසාමාන්‍ය ප්‍රතික්‍රියා නිසා ද මෙය ඇති වන බව විශේෂඥයන් පවසති.

පාරිසරික හේතු

කුඩා කාලයේ දරුවෙක් අවමානයට ලක් වීම, අත්හැර දැමීම, ලිංගික අපයෝජනය, දෙමව්පියන්ගේ ගැටළුවලට ගොදුරු වීම යනාදීයද මේ තත්ත්වයට හේතු වන බව විශේෂඥයන් සොයාගෙන ඇත. 

මොන වගේ අය මීට ගොදුරු වෙයිද?

මෙම ආතතිය බොහෝවිට පටන් ගන්නේ ගැටවර වියේදීය. කාන්තාවන් වැඩියෙන් ගොදුරු වෙයි. දෙමාපියන්ට මෙම රෝගය ඇතිනම් ඔබට හැදෙන සම්භාවිතාව ද වැඩිය. ආධිපත්‍ය පතුරුවාගෙන සිටින දෙමාපියන් නිසා දරුවන් වැඩි බියකට සහ පීඩනයකට ලක් වෙයි. මෙවැනි දරුවන්ට ද මෙම අසනීපයට පහසුවෙන්ම ‍ගොදුරැ වෙයි. කුඩා කාලයේදී ලජ්ජාව බය වැඩියෙන් දක්නට ලැබෙන දරුවන් මෙයට ගොදුරු වීමට ඇති සම්භාවිතාවය ද වැඩිය.
මෙවැනි රෝගීන්ගේ දක්නට ලැබෙන වෙනත් ලක්ෂණ

මෙවැනි රෝගීන් නිසි ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට යොමු නොවුවහොත් නොයෙකුත් සංකූලතාවලට ගොදුරු විය හැකිය. ඒවා නම්,

• ආත්ම අභිමානය අඩු වීම • තම රැකියාව තුළ ඇති අසාර්ථකභාවය • විවේචනයට බිය විම • සමාජ කුසලතා නැති වීම • අධ්‍යාපනය බිඳ වැටීම • වැඩ කරන ස්ථානයේ උසස්වීම නොලැබීම • මිතුරන් අඩුවීම • මත්පැනට පහසුවෙන් ගොදුරු වීම • සමහරවිට සිය දිවි නසා ගැනීම දක්වා යොමු වීම

සමාජ භීතිකාවට ප්‍රතිකාර තිබේද? 

නිසැකවම තිබේ. ඒවා දෙවර්ගයකි.

• ඖෂධ ප්‍රතිකාර • මනෝචිකිත්සක උපදේශන ක්‍රමය.

ඖෂධ ප්‍රතිකාර

සෙරොටොනින් (Serotonin) වලට බලපාන ඖෂධ මෙහිදී භාවිතා කරනු ලැබේ. මෙම ඖෂධ ශරීරය තුළ ක්‍රියාත්මක වී වෙනසක් ඇති වීමට යම් කාලයක් ගත වෙයි. මෙම ඖෂධවලින් දරුණු අතුරු ආබාධ ඇති නොවන හෙයින් ඒවා ගැනීමට කිසිම බියක් ඇති කර නොගත යුතුයි. ඔබ ඖෂධ ගන්නේ නම් එය වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඉන්පසු තීරණ කර ගත හැකිය.

මනෝ චිකිත්සක ප්‍රතිකාර

පුහුණුව ලත් මනෝ චිකිත්සකවරයකු යටතේ ඔබගේ බිය සහ ලජ්ජාව ක්‍රමයෙන් අවම කරගත හැකිය. මෙහිදී ඉදිරිපත් වීමේ කුසලතා යනාදිය තුළින් ඔබ තුළ ඇති භීතිය හා ලජ්ජාව අවම කර ගත හැකිය.

ඔබට නිවසේදී කළ හැකි ක්‍රියාකාරකම්

ළඟම යහළුවකු සමග ප්‍රසිද්ධ ස්ථානයකට කෑම ගැනීමට යාම.

අමුත්තකු හෝ යහළුවකු හමු වූවිට “ඉතින් කොහොමද” (Hello) අසා ඇස්වලින් සම්බන්ධ වීම.

ඔබ කැමති කෙනෙකුට පුංචි තෑග්ගක් දීම.

අමුත්තකුගෙන් ලිපිනයක් හෝ පාර ඇසීම.

අපි හිතමු ඔබ මගුල් ගෙදරක සිටිනවා කියා. ඔබ හඳුනන සහ නොහඳුනන දෙපිරිසම සිටී. ඔබ එම මගුල් ගෙදර හැම මේසයකටම ගොස් ඔවුන් සමග කතා කිරීම.


« PREV
NEXT »

Facebook Comments APPID