BREAKING NEWS
latest

728x90

468x60

දරු දෙදෙනා පැහැර ගන්නා බව කියා ලක්‌ෂ 30ක්‌ කප්පම් ඉල්ලලා

පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියකුගේ දරුවන් දෙදෙනා පැහැර ගෙන ගොස්‌ මරා දමන බවට දුරකථන ඇමතුම් දී තර්ජනය කර සහල් මෝල් හිමියාගෙන් රුපියල් ලක්‍ෂ 30 ක්‌ කප්පම් ඉල්ලූ තරුණයන් දෙදෙනකු ඊයේ (26දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්‌ඨාස පොලිස්‌ අපරාධ විමර්ශන අංශය කියයි.

අවුරුදු 25 සහ 29 යන වයස්‌වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එක්‌ සැකකරුවකු දුරකථන සමාගමක සිම් කාඩ්පත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත අයකු බවත් ඔහු වෙනත් අයට සිම්කාඩ්පත් අලෙවි කිරීමේදී ලබා ගත් ජාතික හැඳුනුම්පත් අංක උපයෝගී කරගෙන වෙනත් ජංගම දුරකථන සමාගමකට අයත් සිම්පත් මිලදී ගෙන ඒවා භාවිතා කොට කප්පම් ඉල්ලීම සඳහා දුරකථන ඇමතුම් ලබා ගෙන තිබෙන බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

අනෙක්‌ සැකකරු හබරණ නගරයට නුදුරු පදිංචිකරුවකු බවත් ඔහු සම්බාහන මධ්‍යස්‌ථානයක සේවය කළ අයකු බවත් හෙළි වී තිබේ.

මොවුන් මීට පෙරද ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබාගෙන ඇති දැයි සොයා බලන බව විමර්ශන සිදු කරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ලක්‌සිරි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොලොන්නරුව කොට්‌ඨාස පොලිස්‌ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මනෝඡ් පද්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන්වරුන් වන (18001) සිරිකුමාර, (24411) පද්මසිරි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (16614) මානවඩු, (39219) මංජුල, (42229) රංග කුමාර, (60231) අසංක, (50755) නිමල් ජයසූරිය, (50694) සිල්වා, (71500) රත්නායක, කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (7088) නදී චාන්දනී, (6223) අනුරාධා, පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු (3728) හපුගස්‌තැන්න යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

« PREV
NEXT »

Facebook Comments APPID