BREAKING NEWS
latest

728x90

468x60

පෙට්‌ටි 22 ක්‌ එන්ජිම නැතිව කිලෝමීටර් 12 ක්‌ ගිහින්

ඉන්දියාවේ දුම්රිය ගමනක යෙදීම ද එක්‌ විශේෂ අත්දැකීමකි. කිහිප අවස්‌ථාවකම එම අත්දැකීම විඳ ගැනීමට මට හැකි විය. 2005 වසරේ නොවැම්බර් මාසයේ එක්‌ දිනයක බිහාර් ප්‍රාන්තයේ ගයා දුම්රිය ස්‌ථානයේ සිට දිල්ලිය බලා පැමිණි පුරා පැය 12 ක ගමන අදත් මගේ මතකයේ රැඳී ඇත. රාත්‍රි දහයට ගයාවෙන් පිටත් වූ දුම්රිය හරියට පසුදා පෙරවරු දහය වෙද්දී දිල්ලි දුම්රියපළට ළඟා විය. දුම්රිය විටක කිලෝමීටර් 120 කට අධික වේගයෙන් ගමන් කළ අතර, රාත්‍රියේ අධික සීතල නිසා අපේ කණ්‌ඩායමේ කාන්තාවකට වෙව්ලිල්ලද සෑදිණි.


ඒ අතීත මතක සිහිකරනු ලැබුවේ ඉන්දීය දුම්රියක පසු පස ගමනක්‌ ගැන ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ අවධානය යොමු කර තිබූ නිසාය. මෙය අරුම පුදුම සිද්ධියකි. මන්ද ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඔරිස්‌සා ප්‍රාන්තයේ ගමන් කළ දුම්රියක්‌ එහි දුම්රිය එන්ජිම නොමැතිව කිලෝමීටර් 12 ක්‌ පසුපසට යැමයි. මෙහි පෙට්‌ටි 22 ක්‌ තිබී ඇති අතර එම පෙට්‌ටි 22 තුළ මඟීන් දහසකට අධික ප්‍රමාණයකගෙන් පිරී පැවතිනි. එන්ජිම නොමැතිව පිටුපසට ගමන් කළ දුම්රිය නවතා ගැනීමට හැකි වූයේ දුම්රිය පීලි අතර ගල් තැබීමෙනි.

ගල් තබා ජීවිත හානිය වළක්‌වා ගැනීමට හැකි වුවත් මේ සිද්ධිය ඉතා බරපතළ බව ඉන්දීය දුම්රිය සේවයේ ප්‍රධානීහු ප්‍රකාශ කරති. එම නිසාම මෙම සිද්ධිය පිළිබඳ වගකිවයුතු සේවකයන් හත්දෙනකුගේ සේවය අත්හිටුවීමට බලධාරීහු තීරණය කර ඇත. ඒ අතර දුම්රිය රියෑදුරන් දෙදෙනකු ද වේ.

මෙම දුම්රිය ගුජරාට්‌ ප්‍රාන්තයේ සිට ඔරිස්‌සා ප්‍රාන්තය දක්‌වා ගමන් කිරීමට නියමිතව තිබිණි.

දුම්රිය බලධාරීන් ප්‍රකාශ කරන්නේ අදාළ සේවකයන් විසින් නිසි පරිදි දුම්රිය තිරිංග නොයෙදීම හේතුවෙන් එංජිම නොමැතිව මෙහි දුම්රිය පෙට්‌ටි කිලෝමීටර් 12 ක්‌ පස්‌සට ධාවනය වී ඇති බවය. මේ දුම්රිය පාලනයකින් තොරව වේගයෙන් පසුපසට ගමන් කරන අයුරු දැක්‌වෙන වීඩියෝ සමාජ ජාලාවල පළ වී ඇත. මේ දුම්රිය දකින සමහරු කෑ ගසමින් බ්රේක්‌ අදින්නැයි දුම්රිය මගීන්ගෙන් ඉල්ලන අයුරු මේ වීඩියෝවේ දැක ගත හැකිය. වාසනාවකට කිසිම මගියෙකුට හානියක්‌ වූයේ නැත.

පසුගිය වසරේ ඉන්දීය දුම්රියක්‌ පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මරණයට පත් විය. එහෙත් 2016 සිදු වූ අනතුරකින් පුද්ගලයන් 146 දෙනකු මරණයට පත්විය. 2012 වසරේ වාර්තා අනුව විවිධ දුම්රිය අනතුරු නිසා පුද්ගලයන් පහළොස්‌දහසක්‌ මරුමුවට පත් වී ඇත. මෙය ගතවන සෑම වර්ෂයටම පොදුය.

ඉන්දීය ජන ජීවිතයට දුම්රිය නොමැතිව බැරිය. දුම්රිය නැවතුනහොත් ඉන්දීය ජන ජීවිතය ද කඩා වැටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දීය දුම්රිය සේවයේ සේවක පිරිස ලක්‍ෂ 13 කි. එය ලෝකයේ දසවැනි ස්‌ථානයට පත්වන විශාලම සේවක පිරිසක්‌ හිමි ආයතනයකි. වසරකට බිලියන 8.2 ක ජනතාවක්‌ මෙහි ගමන් කරති. ඉන්දීය දුම්රිය සේවයේ රැකියා අනූදහසක්‌ වෙනුවෙන් දෙකෝටි අසූලක්‍ෂයක ඉල්ලුම් පත්‍ර ලැබී ඇති බව බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත මීට සති දෙකකට පෙර වාර්තා කර තිබිණි. ඇත්තෙන්ම ඉන්දීය ජාතිකයෝ රජයේ රැකියාවක්‌ ලබාගැනීමට ඉමහත් වෙර දරති. කාර්යාල කාර්ය සහායක තනතුරට ආචාර්ය උපාධි ලැබූ ඉන්දියානුවෝ ඉල්ලුම් කර තිබුණේ විහිළුවට නම් නොවේ.

*
« PREV
NEXT »

Facebook Comments APPID