BREAKING NEWS
latest

728x90

468x60

ගුරුවරියක ගේ නිරුවත් ඡායාරූප සකසා තැපැල් මඟින් බෙදා හැරලා !

රජයේ පාසලක සේවයේ නියුතු අවිවාහක තරුණ ගුරුවරියක සමඟ අවිවාහයෙකු ලෙස පෙනී සිටිමින් පැවැත් වූ සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව පරිගණක ආධාරයෙන් ඇගේ නිරුවත් ඡායාරුප සකසා එම ඡායාරූප ලියාපදිංචි තැපෑලෙන් විවිධ පුද්ගලයන්ට යැවූ විවාහක දෙදරු පියෙකු පිළිබඳ පුවතකි මේ,

අනුරාධපුරයේ නියෝජිත තැපැල් කාර්යාලයක් පවත්වාගෙන ගිය මොහු අත්අඩංගුවට ගැනීම පිණිස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය ඊයේ (23) සිට පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියට තම මව හා පැමිණි අගතියට පත් තරුණ ගුරුවරිය එම නියෝජිත තැපැල් කාර්යාල හිමිකරු විසින් විවිධ පුද්ගලයන් අතට පත්කළ ඡායාරූප විශාල ප‍්‍රමාණයක් ද පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබේ.

එම පුද්ගලයා තමන් අවිවාහක බව හඟවමින් මෙම අවිවාහක ගුරුවරිය සමඟ පෙම් සබඳතාවක් පවත්වා තිබෙන අතර ඔහු විවාහක දෙදරු පියකු බව දැන ගත් සැනින් එම පෙම් සබඳතාවය නතර කිරීමට ඇය කටයුතු කොට ඇත.

එවිට සැකකරු උරණ වී ඇයට විවිධ තර්ජන කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස සැකකරු විසින් අනුරාධපුර නගරයෙන් බැහැර පිහිටි පාසලක සේවයේ නියුතු තරුණ ගුරුවරියට මානසික පීඩාවන් සිදුවන අන්දමින් කටයුතු කර ඇති අතර ඇය සිය මවද සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ පසුව දෙපාර්ශවය ගෙන්වා අවවාද කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එවිට සැකකරු “හිර ගෙවල් හතක ගියත් මම උඹ එක්ක හිටපු නිරුවත් ඡායාරූප මුළු ගමටයි ස්කෝලයටයි එවනවා!” යනුවෙන් පොලිස් නිලධාරීන් ඉදිරියේම තර්ජනය කරමින් කියා ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් පොලිස් පැමිණිලි පොතෙහි සටහන් තැබීමට කටයුතු කර තිබේ.

ඉන් දින කිහිපයකට පසුව සැකකාර නියෝජිත තැපල් හල් හිමියා ගුරුවරියගේ නිරුවත් ඡායාරූප මුද්‍රණය කර ඇය පදිංචිව සිටින ප‍්‍රදේශයේ නිවෙස්වලට හා සේවය කරන පාසලට ව්‍යාජ ආපසු ලිපිනයක් යොදා ලියාපදිංචි තැපෑලෙන් යොමුකර තිබේ.

පාසලේ ගුරුවරුන් කිහිප දෙනකු අතට මෙම නිරුවත් ඡායාරූප අඩංගු ලිපිකවර ලැබී ඇති අතර ඔවුන් සෙසු ලිපි පාසලේ ගුරුවරුන් අතට පත්වීමට පෙර තැපැල් ස්ථානයෙන් ලබාගෙන ඇයට සිදුවීමට තිබූ අපහසුතාව මගහැරවීමට කටයුතු කර ඇත.

ගුරුවරියගේ මවට හා අසල්වාසීන් විශාල පිරිසකට නිරුවත් ඡායාරූප සහිත ලිපිය ලැබී ඇති අතර ඇය නිවෙසේ නිදන ඇඳේ සිටියදී ගත් ඡායාරූපයක උඩකය වෙනත් නිරුවත් සිරුරකට පරිගණක මෘදුකාංගයක් මගින් බද්ධකර තිබෙන බව ගුරුවරියගේ මව අනාවරණය කරගෙන පොලීිසියට ඒ පිළිබඳව පැමිණිලිකර තිබේ.

සැකකරු අනුරාධපුර උසාවිය පෙදෙසේ පිහිටි නියෝජිත තැපැල් කාර්යාලයක් කුලී පදනමට ලබාගෙන පවත්වාගෙන යන පුද්ගලයකි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමත් සමගම ඔහු පෙරේදා (22) සිට ආයතනය වසාදමා සැඟවී සිටින බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරියට ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලිපි කුමන ස්ථානයකින් පැමිණියේද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා පී.යමුනා කාන්ති හා උප ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඒ.රත්නසිරි යන මහත්ම මහත්මීන් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

– අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය
« PREV
NEXT »

Facebook Comments APPID