BREAKING NEWS
latest

728x90

468x60

හාමුදුරුවන් තවම නැතිලු - CIDය ප්‍රශ්න කරන්න බලන් ඉන්නවලු

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල අලෙවි කිරීමේ ගනුදෙනුව සිදු වූ බව කියන පොල්පිතිගම නාගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දළ පූට්ටුවාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදු වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමත් සමඟ එහි විමර්ශන කණ්ඩායමක් මේ වන විට ගල්ගමුව ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දළ යුගල අලෙවි කිරීමට සූදානම් කර තිබියදී එම ගනුදෙනුව සිදු කිරීමට පැමිණි හේරත්ගම ග්‍රාම නිලධාරියා වූ අසංක සෙනරත් සහ හිටපු පොලිස් ආරක්ෂක නිලධාරියකු ඇත් දළත් සමඟ වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව එම ඇත් දළ යුගල ඝාතනය කරන ලද දළ පූට්ටුවාගෙන් කපා ගැනීමට ගිය අජන්ත අමරජීව ඇතුළු සිවු දෙනකුද නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දළ පූට්ටුවාගෙන් කපා ඉවත් කර ගන්නා ලද ඇත් දළ යුගල ගනුදෙනුවට ප්‍රථම සඟවා තබා ඇත්තේ මොරගොල්ලාගම, සියඹලාව ප්‍රදේශයේ පදිංචි අජන්ත අමරජීව නමැති 20 හැවිදි තරුණයාගේ නිවෙසේ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

අජන්ත අමරජීව යනු නාගල රජමහ විහාරයේ විහාරාධිපති හිමිගේ ස්ථිර රියැදුරු බවටද අනාවරණය වී ඇත. ඇත් දළ ගනුදෙනුව සිදු කළ හේරත්ගම ග්‍රාම සේවකවරයාද එම විහාරාධිපතිට අයත් බව පැවැසෙන සුඛෝපභෝගි වාහන දෙක අජන්ත නොමැති වෙලාවට පදවන තැනැත්තකු බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටින මෙම සැකකරුවන් දෙදෙනාම නාගල රජමහ විහාරයේ විහාරාධිපති සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති නිසා එම හිමියන්ගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස තීරණය කර තිබේ.
නාගල රජමහ විහාරයේ විහාරාධිපති හිමියන් දින ගණනාවක සිට විහාරස්ථානයෙන් බැහැරව ගොස් සිටින නිසා එම හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.
« PREV
NEXT »

Facebook Comments APPID