සුගියදා යතුරුපැදි ආරක්‍ෂිත හිස් වැසුමින් ගසා පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස් සැඟවී සිටි සැකකරුවන් දෙදෙනකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ කළුබෝවිල ඇළ ඉවුර පාරේ පදිංචි 40 - 42 වියේ පසුවන විවාහකයන් බවත් පොලිසිය පැවසීය.
වස්‌කඩුව පනාපිටිය තිඹිරිගස්‌හේන ප්‍රදේශයේ පදිංචි ලියනගේ දොන් නෙරන්ජන් නෙළුම්ප්‍රිය ජයසිංහ නමැති 38 හැවිරිදි තිදරු පියා මෙලෙස ඝාතනයට පත්විය.
මියගිය අය වෘත්තියෙන් පෙදරේරුවරයකු වන අතර පසුගිය 19 දින කළුබෝවිල ප්‍රදේශයේ නිවසක අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී එම නිවසේ කාන්තාව සහ අසල්වැසියකු හා බහින් බස් වීමක් අතරට මෙම මියගිය අය ගොස් ඇති අතර එහිදී අසල්වැසි ඥතියා සහ ඔහුගේ මිතුරෙකු එක්‌ව එළව එළවා පහරදී ඇති බවත් ආරක්‍ෂිත හිස් වැසුමින් පහරදී අනතුරුව අතින් පයින් මියයන තුරුම පහරදී ඇති බවත් පොලිසිය පවසයි. එම මනුෂ්‍ය ඝාතනයෙන් පසු අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මහරගම ප්‍රදේශයේ නිවෙසකත් සෙසු පුද්ගලයා ඇරැව්වල ප්‍රදේශයේ නිවෙසකත් සැඟවී සිටි අතර පොලිසියට ලද විශ්වාසදායී තොරතුරක් මත මෙම සැකකරුවන් පසුගිය සෙනසුරාදා (23 දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හිසට සහ ශරීරයට මරණීය තුවාල සිදුකිරීමෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවී ඇති බවට දකුණු ශික්‍ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ අතර සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කොහුවල පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්‌තාපල්වරුවන (730019) රංගන (75760) බණ්‌ඩාර (40380) කපිල (81605) ලක්‌මාල් (87316) අමිල යන නිලධාරීහු විසින් පරීක්‍ෂණ පවත්වයි.
සරත් ද සිල්වා