BREAKING NEWS
latest

728x90

468x60

30 ක පමණ කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා

උත්සව සමයේ පිටකොටුව නගරයේ ඇඳුම් පැලඳුම් තෝරන සහ බස්‌ රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි, රන්මාල සොරාගන්නා සහ කොල්ලකන පුත්තලම වෙප්පමඩු කාන්තා කොල්ල කල්ලිය යළිත් කොළඹට පැමිණ ඇති බව පවසන පිටකොටුව පොලිසිය ඒ ගැන කල්පනාකාරී වන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනටමත් මෙම කාන්තා කොල්ල කල්ලියේ තිදෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතකර ඇතැයි පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතා පැවැසීය.

අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන මෙම කාන්තා කොල්ල කල්ලියේ සාමාජිකාවන් 30 දෙනකු පමණ සිටින අතර, ඔවුන් විවිධ ආකාරයෙන් ඇඳපැළඳගෙන කණ්‌ඩායම් වශයෙන් බෙදීගොස්‌ මෙම අපරාධයන් සිදුකරන බව හෙළිවී ඇතැයි ද ඒ මහතා කීය. මොවුන්ගෙන් කොටසක්‌ පිටකොටුවේ සාරි, ඇඳුම් ඉතාම ලාබෙට අලෙවි කරන ස්‌ථානවල සෙනඟ වැඩිවශයෙන් ගැවසෙන ස්‌ථානවලට ගොස්‌ තෙරපෙමින් කාන්තාවන්ගේ මුදල් පසුම්බි මීට පෙර සොරාගෙන ඇතැයි හෙළිවූ බවද හෙතෙම කියා සිටියේය.

තවත් පිරිසක්‌ ඩෙනිම් කලිසම් හා ටී ෂර්ට්‌ ඇඳපැලඳගෙන මගීන් වැඩිවශයෙන් ගමන් ගන්නා බස්‌ රථවලට ගොඩවී පිරිමි පුද්ගලයන්ට හේත්තු වී ඔවුන් සතු මුදල් පසුම්බි සොරාගන්නා බව හෙළිවිණැයිද ඒ මහතා කීය.

තවත් පිරිසක්‌ කුඩා දරුවන් වඩාගෙන සෙනඟ ගැවසෙන තැන්වලට ගොස්‌ කුඩා දරුවන්ගේ පංචායුධ, රන්මාල කඩාගෙන ගොස්‌ ඇතැයි හෙළිවී යෑයි ද ඒ මහතා සඳහන් කර සිටියේය.

මෙම කාන්තා කොල්ල කල්ලිය ගැන තොරතුරු ඇත්නම් 0112-320470 යන අංකයට දැනුම් දෙන්නැයි පිටකොටුව පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම උත්සව සමයේ දෙසැම්බර් දින 16 තුළ පිටකොටුව ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකළ සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය කියයි.

කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ පිටකොටුව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නලින් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
« PREV
NEXT »

Facebook Comments APPID