දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29 දා) පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි 'රතු නිවේදනයක්' නිකුත් කළේය.
ගාල්ල, මාතර, හබරාදූව, හීනටිගල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි සුළං තත්ත්වයක් ද පැවති අතර ප්‍රදේශ ගණනාවකින් විදුලිය බිඳ වැටීම්ද වාර්තා විය.
පවතින අයහපත් කාලගුණය නිසා දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්‌නාහිර පළාත්වල ඇතැම් ස්‌ථානවලට අද දිනයේත් මිලි මීටර් 150 ට වැඩි වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ජනතාවගෙන් අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ දිවයින වටා මුහුදු සීමා කිහිපයක රළු ස්‌වභාවක් මෙන්ම පැයකට කි. මී. 70 - 80 ක පමණ වන තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
දිවයින ආශ්‍රිතව පැවැති අවපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත්, එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
සුජීව තත්සර සහ සිරිමන්ත රත්නසේකර