BREAKING NEWS
latest

728x90

468x60

රැකියාවකට විදෙස්ගත වන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මෙන්න

ජපානයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලද කාන්තාවක සිය ආයතනයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙතෙක් කරන ලද විශාලතම වැටලීම බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අදාළ කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් 50 අධික පිරිසකගෙන් මුදල් ලබා ගෙන ඇති බව පවසන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පොරොන්දු වූ පරිදි එම රැකියා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පසුගිය 13 වෙනිදා පැමිණිල්ලක් ලැබුණු බව සඳහන් කරයි. ඒ අනුව දියත් කළ රහසිගත විමර්ශනයකින් අනතුරුව 14 වෙනිදා කඩවතදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ ඇයගේ නිවසේ තිබී සොයා ගත් ගුවන් ගමන් බලපත්‍ර 80, ජපාන රැකියා ගිවිසුම් පත්‍ර විශාල ප්‍රමාණයක්, යෝග්‍යතා සහතික ද විමර්ශන නිලධාරීන් භාරයට ගනු ලැබූ බව ඉහත කී නිවේදනයේ දැක්වේ.
ව්‍යාජ නිල මුද්‍රා, ජපාන නොතාරිස් මුද්‍රා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා ද ඒ අතර වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රැකියා ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග ඊට හසු වූ තවත් පුද්ගලයන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බැවින් සැකකාරිය වංචා කළ මුදල රුපියල් කෝටි 10 අධික විය හැකි යයි විමර්ශන නිලධාරීහු විශ්වාස කරති.
ඉරිදා (ඔක් 15) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරිය ඔක්තෝබර් 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ජපන් භාෂා ගුරුවරියක ලෙස කටයුතු කර ඇති ඇය මීට ඉහත දී අධ්‍යාපන වීසා මත ජපානයට සිසුන් යොමු කර ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.

විදෙස් රටවල රැකියා බලපත්‍ර සහ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා මුදල් වංචා කරන පුද්ගලයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නිතර අසන්නට ලැබේ.

එවැනි වංචාකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවාවේ මතු සඳහන් දුරකතන අංක වෙත ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල ජනතාවගෙන් ඉල්ලා සිටී.

00911-2879900
0094112879901
0094112879902

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදි රැකියා සඳහා විදෙස් ගතව ඇති ලියාපදිංචි ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 15-20 අතර අගයක් ගනු ලබයි. එම කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ 2017 වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 180,000 රැකියා සඳහා විදෙස් ගතව ඇති බවය. සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වන බව ඒ අනුව පෙනී යයි.

රැකියාවක් සඳහා විදෙස් ගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකු සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
විදේශ රැකියා බලපත්‍ර නියෝජිත ආයතනය (රැකියා ඒජන්සි) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කළ යුතුය. එසේ ලියාපදිංචි වී ඇත්නම් එහි බලපත්‍ර අංකය විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලබා දී ඒ බව තහවුරු කර ගත හැක.

රැකියාවක් සඳහා විදෙස්ගත වන පුද්ගලයෙකු ඒජන්සි ආයතනය වෙත මුදල් ලබා දීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද..?

දැනට ශ්‍රී ලංකාව පුරා බලපත්‍ර ලාභී රැකියා ඒජන්සි ආයතන 2,200 පමණ තිබෙන බවත් නීතිඥ උපුල් දේශප්‍රිය පවසයි.
ශ්‍රී ලංකාව වෙත රැකියා ඇණවුම් රැගෙන එනු ලබන්නේ එවැනි බලපත්‍ර ලාභී රැකියා ඒජන්සි විසිනි.
කුමන වර්ගයේ රැකියාවක්ද?, මාසික වේතනය කුමක්ද?සේවා කාලය වසර කීයක්ද? වැනි කරුණු රැකියා ඇණවුම තුළ අඩංගු වේ.
ඉහත කී කරුණු සලකා බලා ඒ ඒ රටවල් වෙත යන පුද්ගලයන්ගෙන් කුමන මුදලක් අය කර ගත යුතු දැයි යන්න අදාළ ඇණවුමට අවසර ලබා දෙන අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තීන්දු කරනු ලබන බව නීතිඥ උපුල් දේශප්‍රිය පෙන්වා දුණි.

එම මුදලට වැඩි මුදලක් අය කර ගැනීමට බලපත්‍රලාභී ඒජන්සි ආයතනයට නීතියෙන් අවසර නොමැති බව කී ඔහු නියමිත මුදල ඉක්මවා අය කර ගනු ලබන එජසි ආයතන පිළිබඳ දන්වන්නේ නම් ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සඳහන් කළේය.

ඉහත කී ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් රැකියා සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් පසුවන ඇතැම් පුද්ගලයන් වංචනිකයන්ට හසුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය පැවසීය.

“රට යනවා කියල හිතුන හැටියේ පාස්පෝට් එක අරන් ගිහින් කාට හරි සල්ලිත් භාර දීල උඩ බලාගෙන ඉන්න තමයි රටේ බහුතරය පුරුදු වෙලා තියෙන්නේ” යනුවෙන් කී ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වීම අනිවාර්ය බව සෑම පුරවැසියෙකුම දැනගත යුතු බව සඳහන් කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID