BREAKING NEWS
latest

728x90

468x60

කොතල හිඹුටු,තෙබු,මස්බැද්ද වලින් දියවැඩියාව සුව වෙනවද..? - විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ

දියවැඩියාවට නිශ්චිත ගුණ දෙන බව පැවසෙන කොතල හිඹුටු, තෙබු, මස්බැද්ද, ආදී දේශීය ශාක වර්ග භාවිතයට බටහිර වෛද්‍යවරුන් ජනතාව නොපොළඹවන්නේ මන්ද..? මේ පැනය මගේ වෘත්තීය ජීවිතයේ දී සිය දහස් වරක් රෝගීන්ගෙන් ඇසී තිබේ. ඊට අමතරව දියවැඩියාව නිට්ටාවට සුවකරන වෙදමහතුන් පිළිබඳව රූපවාහිනිය, පුවත්පත්, සමාජ ජාලා, වෙළඳ දැන්වීම් තුළින් සේම පුවත්පත් ලිපි විශේෂාංග සහ රූපවාහිනී,ගුවන්විදුලි වැඩසටහන් ආදියෙන් පැවසෙන තොරතුරු පිළිබඳවද බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටිති.

බටහිර වෛද්‍ය වෘත්තිකයන් වන අපට ඉන් පරිබාහිර වූ වෛද්‍ය ක්‍රම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යමෙකුට හැඟී යා හැක. එහෙත් දියවැඩියා රෝගය සම්බන්ධ ලොව පුරා කරනු ලැබූ අති නවීන පරීක්ෂණ මඟින් එම රෝගයේ ස්වභාවය අද වන විට මනා සේ හඳුනාගෙන ඇත.

එය ඉක්මවා යා හැකි නවතම සොයා ගැනීමක් ලොව සිදුව තිබේනම් එය ඒකාන්ත ලෙසම වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියන සොයා ගැනීමක් ම වනු ඇත. දියවැඩියා රෝගය කාණ්ඩ දෙකකින් යුක්තය. ඉන් පළවෙනි කාණ්ඩය ලෙස හඳුනාගත හැක්කේ අග්න්‍යාසයේ (Pancreas) ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය නිශ්පාදනය වීම අඩුවීමත් සමඟ රුධිරයෙහි සීනි සංයුතිය ඉහළ යාම මත ඇති වන තත්ත්වයයි.

දියවැඩියා රෝගයේ දෙවෙනි කාණ්ඩය වන්නේ රුධිරයේ සමාන්‍ය ඉන්සියුලින් සංයුතියක් ඇතත් ශරීරයේ සෛල විසින් එම ඉන්සියුලින් කෙරෙහි දක්වන සංවේදීතාවය අවමවීමය. මේ රෝග තත්ත්වයන් දෙකම ‘නිට්ටාවටම සුව කළ නොහැකි’ රෝග තත්ත්වයන් බව මේ වන විට විද්‍යාත්මක වශයෙන් අතිශයින් පැහැදිළි වී තිබේ.

මෙම රෝගය නිට්ටාවටම සුව කළ නොහැකි වුවද එම රෝග තත්ත්වය තුළ වුව ශරීරයේ සීනි සංයුතිය පාලනය කිරීමෙන් එම රෝගය පාලනය කර ගැනීමට සේම එයින් ඇති වන අතුරු ඵල වලක්වා ගැනීමට හා අවමකර ගැනීමට පුළුවන.

දියවැඩියාව නිසා ශරීරයේ ප්‍රධාන වශයෙන් හානි පැමිණවෙන ඉන්ද්‍රියන් තුනකි. එනම් හෘදය වස්තුව, ඇස් සහ වකුගඩුය.

දියවැඩියාවෙන් හෘදය වස්තුව ආශ්‍රිත කිරීටක ධමනි ආදියට සිදුවන හාහි Diabetic Angiopathy නමින් හැදින්වෙන අතර ඇස් වලට සිදුවන හානිය Diabetic Retinopathy ලෙසින් හැඳින්වෙයි. මේ අතර වකුගඩු වලට සිදුවන හානිය හැඳින්වෙනුයේ Diabetic Nephropathy යනුවෙනි.

මෙහිදී සිදුවනුයේ ශරීරයේ ඉන්සියුලින් නිපදවීම හෝ ඒවා කෙරෙහි ශරීරයේ සෛල සංවේදී නොවීම මත එම ඉන්ද්‍රියන් කෙමෙන් අකර්මන්‍ය වීමය. මීට අමතරව දියවැඩියාව යනු ශරීරයේ කෙස් නිය ඇතුළු සෑම ඉන්ද්‍රියකම, ‍සෑම සෛලයකටම බලපාන රෝගයක් ලෙස හැඳින්වේ. දියවැඩියාව මගින් ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට සිදුවන හානිය හැඳින්වෙනුවේ Diabetic Neuropathy යනුවෙනි.

මෙහිදී දියවැඩියාව සුව වීම කෙසේ වෙතත් ශරීරයේ සීනි මට්ටම පාලනය කෙරෙන ඖෂධ සහ ආහාර වර්ග ඕනෑම තරම් තිබිය හැක. රෝගීන් අප වෙතින් විමසන කොතල හිඹුටු, තෙබු, මස්බැද්ද ආදී ශාක වර්ග ඉන් කීපයකි. මේ හැරුණු කොට ලෝකයේ සෑම රටකම දියවැඩියාවට ගුණ දෙන බව පැවසෙන වෙනත් ශාක වර්ග ඇති බවද නොරහසකි.

නමුත් මේ බොහෝ ශාකයන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි සංයුතිය අඩුවන බවට සායනිකව තහවුරු වී නැත. තවත් ශාක වල රුධිරයේ සීනි සංයුතිය අඩුකරන සංඝටක ඇති බවට නිරීක්ෂණ අධ්‍යයන (Observational studies) මගින් තහවුරු වී තිබේ. එහෙත් එම ශාක භාවිතා කළ යුතු මාත්‍රාව සහ එම මාත්‍රාව භාවිතා කිරීමෙන් පසු අඩුවන සීනි සංයුතියේ ප්‍රමාණය, ඒවා භාවිතයෙන් ඇතිවන අතුරු සහ පශ්චාත් ඵල ආදිය මුල්කොට සායනික අත්හදා බැලීම් (Clinical Trial) කිසිවක් සිදුවී නැත. නමුදු ඒ ශාක භාවිතය සම්බන්ධයෙන් ඇතැමුන් අහඹු රුධිර පරීක්ෂණ සිදුකොට ඇති අවස්ථා තිබීමට පුළුවන.

නමුත් එසේ අහඹු රුධිර පරීක්ෂණ මගින් රුධිරයේ සීනි මට්ටම පමණක් පරීක්ෂා කොට එය භාවිතයට සුදුසුය යන නිගමනයකට එළඹීම විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ. මීට අමතරව කොතල හිඹුටු, මස්බැද්ද, තොබු ආදී ශාක වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි සංයුතිය අඩුවූ පමණින් එය ඖෂධ මාධ්‍යයක් වශයෙන් භාවිතා කිරීම නිර්දේශ කිරීමට අපට නොපුළුවන. එබැවින් එවන් ශාක වර්ගයක් නිතර නිතර අධික ලෙස භාවිත කිරීමෙන් වකුගඩු, අක්මාව ආදී ඉන්ද්‍රියන්ට සිදුවන හානි පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුවී නොමැති බැවින් ඒවා වැඩිපුර ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කිරීමට ද වෛද්‍යවරුන් වන අපට නොපුළුවන.

ප්‍රෝටීන, මේද, කාබෝහයිඩ්‍රේට්, ලවණ, විටමින්, ජලය යන අංග හය සහිත සමබර ආහාරයක් ගන්නා ලෙසත් ඉහත සඳහන් පදාර්ථයන් ගෙන් යමක් අඩුවුවහොත් එය සපුරාගැනීම පිණිස ආහාර මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳවත් උපදෙස් දීමට හැකි වුවද ශරීරයේ සීනි සංයුතිය පාලනය කිරීම සඳහා අසවල් ශාක වර්ගය වැඩිපුර ආහාරය ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දීමට අපට බටහිර වෛද්‍ය විද්‍යාත්මක සේම වෛද්‍ය ආචාරධර්මීය හැකියාවක් ද නැත.

බටහිර වෛද්‍යවරුන් ලෙස කොතලහිඹුටු, මස් බැද්ද, තෙබු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව වන බවට හා සමනය වන බවට රෝගීන්ට උපදෙස් දීමට අපට නොහැක්කේ ඒ පිළිබඳ නිසි වගකීමක් දැරීමට අපට කෙසේවත් නොහැකි බැවිනි.


හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,
රත්මලාන
« PREV
NEXT »

Facebook Comments APPID