BREAKING NEWS
latest

728x90

468x60

ජයසූරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉල්ලා අස්‌වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ ඔහුගේ කමිටුවේ සාමාජිකයන් සිව්දෙනා ඒකාබද්ධ ලිපියක්‌ ක්‍රීඩා අමාත්‍යවරයාට භාරදී සිය ධුරවලින් නිල වශයෙන් ඉවත් වන බවට ඊයේ (29 දා) දන්වා තිබේ. මෙම ඉල්ලා අස්‌වීම අනුව ඉන්දියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වන තුරු එනම් ලබන මස 7 වැනිදා දක්‌වා සේවය කරන බවද තේරීම් කමිටුව දන්වා තිබේ.

ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් වන රංජිත් මධුරසිංහ, රොමේෂ් කලුවිතාරණ, අසංක ගුරුසිංහ සහ එරික්‌ උපශාන්ත යන අයගෙන් සමන්විත විය. එහි නවතම සාමාජිකයා වූ අසංක ගුරුසිංහ ඉකුත් ජුනි මාසයේදී තේරීම් කමිටුවට අනුයුක්‌ත කළ අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු ලෙසද සේවය කරනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අසන්ත ද මැල්ට පසුව වැඩිම කාලයක්‌ අදාළ ධුරයේ කටයුතු කළ පුද්ගලයා වන්නේද සනත් ජයසූරියයි. ඔහු 2012 වසරේදී පළමුව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වූ අතර අනතුරුව 2015 වසරේ පැවැති ලෝක කුසලානයෙන් පසුව එම ධුරයෙන් ඉවත් විය. යළිත් 2016 වසරේදී ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සනත් ජයසූරියව පත්කරන ලදී.

මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම දකුණු අප්‍රිකාව, එංගලන්තයේ පැවැති චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලිය, බංග්ලාදේශයට එරෙහිව සහ සිම්බාබ්වේට එරෙහිව එක්‌දින තරගාවලි පරාජයට පත්වූ අතර ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියද තරග දෙකක්‌ ඉතිරිව තිබියදී (3-0) පරාජයට පත්විය. අදාළ පරාජයන් සම්බන්ධයෙන් ජයසූරියගේ තේරීම් කමිටුව දැඩි විවේචනයටද ලක්‌විය. නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ ඉදිරි සති දෙක ඇතුළත නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානියකු 'දිවයින' කළ විමසීමකදී පැවසීය.
« PREV
NEXT »

Facebook Comments APPID