BREAKING NEWS
latest

728x90

468x60

පොහොට්ටු කාර්යාලයේ සිට කරන ප්‍රකාශ ගැන හිටපු ජනපති ලැජ්ජා විය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපතිවරයාට පක්ෂය ශක්තිමත් කිරීමට සහය ලබාදීම පසෙක තබා, පොහොට්ටු පක්ෂ කාර්යාලයේ සිට කරමින් සිටින ප්‍රකාශ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැජ්ජාවට පත්විය යුතු බව හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 24 දා ) කුරුණෑගල දී පැවැති මාධ්‍ය හමුවකදීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ඉන්දික මහතා මෙසේද පැවැසීය.
‘‘කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයට ගම් මට්ටමින් අතිවිශාල ජනතාවක් සහභාගි කරවන්න අපි මේ වෙනකොට සූදානම්වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකතුවෙලා මේ පක්ෂය ශක්තිමත් කරනවා වගේම අභිමානවත් 66 වැනි සංවත්සර උළෙල අතිසාර්ථක විදිහට පවත්වන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ පක්ෂ සංවත්සරය ගැන මේ වෙනකොට විවිධ අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙන බව පේනවා.

ඉන් එක්කෙනෙක් තමයි අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. මම දැක්කා පොහොට්ටුවෙන් හදපු පක්ෂ කාර්යාලයක ඉදගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මමයි කියලා ප්‍රකාශ කරනවා. ඇත්තටම අපිට එතුමා ගැන කණගාටුයි. මොකද හිටපු ජනාධිපතිවරයා තමයි වත්මන් ජනාධිපතිවරයාට සභාපතිකමත් එක්ක මේ පක්ෂය භාරදුන්නේ.

එතකොට පක්ෂයයි, පාක්ෂිකයෝ හැටියට අපි සියලුදෙනාම තමයි වත්මන් ජනාධිපතිතුමා විසින් භාරගත්තේ. ඒ නිසා මේ වෙනකොට අපේ පක්ෂයේ සභාපති හැටියට අපි පිළිගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා.

අපි ඔහුත් එක්ක එකතුවෙලා මේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා බිම් මට්ටමේ ඉදලා විශාල ජනතාවක් එකතු කරගෙන විශාල වැඩකොටසක් කරන යුගයක තමයි අපි මේ ඉන්නේ. බිම් මට්ටමේ තිබෙන ශාඛා සමිතිය පවා ශක්තිමත් කරමින් අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව මාවතකට ගෙනැත් තියෙනවා.

එවැනි අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා විසින් කරන මේ වගේ ප්‍රකාශ පිළිබඳ අපි කණගාටු වෙනවා.

හරි නම් සිදුවිය යුත්තේ අපි සියලුදෙනාම එකතුවෙලා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට සහයෝගය දෙන එකයි. නමුත් ඒ වෙනුවට පොහොට්ටු පක්ෂයේ කාර්යාලේ ඉදගෙන කියන දේවල් ගැන එතුමා ලැජ්ජා විය යුතුයි. මේවා අහනකොට එතුමාට අත්වෙච්ච ඉරණමම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පාක්ෂිකයින්ට අත්කරලා දෙන්න හදනවාද කියලා සාධාරණ සැකයක් අපිට මතුවෙනවා.

ඒ නිසා සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැදගෙන මෙවර පවත්වන 66 වැනි පක්ෂ සංවත්සරය අභිමානවත් ලෙස සමරන්නට වගේම පක්ෂය ශක්තිමත් කරගෙන 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකරගන්නට ශක්තියක් වෙන්න කියලා. ’’

එහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක එම්. එස්. එම්. ෆාහිම් මහතා මෙසේ පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මෙවර පවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයට වෙනදාට වැඩිය විශාල ජනතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සහභාගි කරවන්න අපි සූදානම්වෙලා ඉන්නවා. ඉතිහාසයේ කවදාවත් දැකපු නැති ජන ගංගාවක් මෙවර කොළඹ කැම්බල් පිටියේ දී දැකගන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ’’යැයි පැවැසීය.

කොට්ඨාස සංවිධායක එස්. පී. විමලසිරි මහතා අදහස් දක්වමින් මෙලෙස පැවැසීය.

‘‘වත්මන් ජනාධිපතිවරයා හංසයාගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා කියලා පහුගිය දවස්වල සමහරු චෝදනා කරනවා මම අහගෙන හිටියා. ඒ අයට මම කියන්න කැමැතියි පොදු ලකුණකින් මිස අත ලකුණෙන් ඉදිරිපත් වෙච්ච කිසිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරලා නැති බව.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පුටුවෙන් ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බුලත් කොළෙන් ඉල්ලුවා. මේ සියලූ දෙනාම පොදු පෙරමුණකින් තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ නිසා අතීතයේ ඉදලාම අපි පොදු ලකුණක් යටතේ, පොදු පෙරමුණකින් ජයග්‍රහණය කළා මිසක් අත ලකුණින් ඡන්දේ ඉල්ලලා ජයග්‍රහණය කළේ නැහැ.

ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හංසයා කියන පොදු ලකුණෙන් ඉදිරිපත්වෙලා රටේ ජනාධිපතිවරයා බවට පත්වුණා. පක්ෂයේ සාමාජිකයෙක් රටේ ජනාධිපති බවට පත්වුණොත් ඔහු පක්ෂයේ සභාපතිවරයා බවට පත්වෙනවා කියලාත් පක්ෂ ව්‍යාවස්ථාවේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනව.

ඒ නිසා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂයේ වර්තමාන සභාපතිවරයා විදිහට අපි සියලුදෙනාම පිළිගන්නවා. මීට පෙර තිබුණු පක්ෂ සම්මේලන දෙකක දී අපි එතුමාට සහයෝගය දුන්නා වගේම මෙවර පැවැත්වෙන 66 වැනි පක්ෂ සංවත්සරයේදීත් අපි එතුමාට උපරිම සහයෝගය දක්වනවා.

කුරුණෑගල අතිරේක
« PREV
NEXT »

Facebook Comments APPID