දිවි ගමනේ අනූනව වියේ පසුවන (අවු. 99) නෙළුව ඇඹලේගෙදර (උතුර) ගම්මානයේ පදිංචි පස්‌දරු මාතාවක් තවමත් තම ගෙවත්තේ තේ ඉඩමේ දලු නෙළමින් වත්තේ පිටියේ වැඩෙහි යෙදෙමින් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නීය.
1918 ජුලි මස 15 වැනි දින හිනිදුම්පත්තුවේ ඕපාත ඇල්පිටිය ගෙදර උපත ලද ඇය තවලම ගමගේ ලීලාවතී මාතාවය.
1940 ජනවාරි මස 16 දින නෙළුව ඇඹලේගෙදර ගම්මානයේ පදිංචිව සිටි එදිරිසිංහ පීටර් මහතා සමග විවාහවී ඇති අතර දරුවන් පස් දෙනෙකු ලද ඇයට මේ වන විට තම දූ දරුවන් සමග දරු මුණුපුරන් මිණිබිරියන් තිස්‌එක් දෙනකුගේ සෙනෙහස ලබමින් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නීය.
ඇයගේ නිවෙස අසලින් ගලා බසින ගිං ගඟට ගොස් දිය නෑමට පුරුදුව සිටින ලීලාවතී මාතාව තම පදිංචි ගෙවත්තේ පිහිටි තේ ඉඩමේ තේ දලු නෙළීම උදැල්ලක් උපයෝගී කරගෙන වත්තපිටිය වැඩ කටයුතුවල නිතර වන්නීය.
ඇයගේ 99 වැනි උපන් දිනය පසුගිය 2017.07.15 වැනි දිනට යෙදී තිබුණු අතර එදින ඇයගේ දූ දරුවෝ සහ මුණුපුරු මිනිබිරියෝ එක්‌ව ඇයගේ උපන් දිනය දින දානමය පිංකමක් පවත්වා ඇයට ආශීර්වාද කළහ.
දිවි ගමනේ 99 වැනි වියේ පසුවන තවලම ගමගේ ලීලාවතී මහත්මිය තම ජීවන ගමනේ තොරතුරු අප සමග මෙසේ පැවැසුවාය.
හිනිඳුම ඕපාත ඇල්ගිරිය ගෙදර මම 1918.07.15 දින උපත ලැබුවා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් සිටිනවා. දැනට ජීවතුන් අතර සිටින්නේ මගේ නංගිලා දෙන්නෙක් පමණයි. ඔවුන් දෙදෙනා ඕපාත සහ විරපාත ප්‍රදේශවල ජීවත්වී සිටිනවා. මම ඕපාත ඉස්‌කෝලේ හය පන්තියට පමණයි ගියේ. ඒ කාලයේ අපේ පන්තියේ සිටියේ ළමයින් හතර දෙනයි. ඉන් ළමයින් තුන් දෙනෙක් හිටිය ගමන් පාසල් ඒම නතර වුණු නිසා මම විතරයි පන්තියේ ඉතුරු වුණේ. පස්‌සේ මමත් පාසල් ගමන නතර කළා. මට උගන්නපු ගුරුතුමිය තැන්නගෙදර ඉස්‌කෝලේ හාමිනේ.
මම 1940.01.06 දින ඇඹලේගෙදර ගමේ සිටිය එදිරිසිංහ පීටර් මහතා සමග විවාහ වුණා. අපේ විවාහය සිදුවුණේ යෝජනාවකින්. අපේ තාත්තා හඳුනන කෙනෙක් මගින් තමයි සිදුවුණේ. මගේ මහත්තයා මා බලන්න ඇවිත් එදා ඔහු අපේ ගෙදර නැවතුණා. ඊට පසුදින ඔහු මා ඇඹලේගෙදර ගෙදරට එක්‌කරගෙන ආවා. එදා ඕපාත හිඳලා සැතපුම් 8 ක් පයින් ඇවිත් තවලම ඉඳලා. තිරික්‌කලයෙන් තමයි නෙළුවට ආවේ. අපේ මහත්තයාගේ ගෙදර එන්න ගිංගඟෙන් එගොඩ වෙන්න ඕනෑ. අපි තිරික්‌කලයෙන් ඇවිත් මාවනාවෙන් බැහැලා ඔරුවකින් ගිංඟගෙන් එගොඩවෙලා තමයි මේ ගෙදර ආවේ. එදා 1940.01.16 උදේ 8.00 ට ඕපාතින් පිටත්වුණු අපි දෙන්නා ගෙදරට එන විට සවස 4.00-5.00 විතර වුණා. පා ගමනින් තිරික්‌කලයෙන් ඔරුවෙන් යන ක්‍රම තුනකින් තමයි මම එදා මේ ගමට ආවේ. එදා මම මේ ගමට පැමිණෙන විට ගමේ ගෙවල් 10 යි තිබුණේ. මේ පළාතක කඩයක් තිබුණේ නැහැ. අපේ මහත්තයා උදේ පාන්දර හිනිදුම මහකඩේට මාසයකට වරක් ගොස් කඩෙන් බඩු ගෙනාවා.
හරි අමාරුවෙන් ජීවත් වුණත් හරිම සතුටින් තමයි අපි ජීවත් වුණේ. මාවනාන පන්සලේ ඒ කාලයේ වහල ගැහැව්වේ ඕපාත ඉඳලා ආව වඩු මහත්තයෙක් සවින්දිරියස් කියලා ඔහු එදා නතර වෙලා හිටියේ අපේ ගෙදර.ද
තවමත් කායික හා මානසික සුවයෙන් දිවිගෙවන ඇය උපැස් යුවළක් භාවිතා නොකර පුවත්පත් කියවන අතර ඇයගේ එදිනෙදා කටයුතු කිසිවෙකුගේ ආධාරයකින් තොරව කරගෙන යන්නීය. බත් කිරිහොදි මී කිරි සහ පලා මැල්ලුමක් එක්‌කරගෙන ආහාරයට ගැනීම ඇයගේ ප්‍රියතම ආහාරය වී ඇත. මෙලෙස නිරෝගී සුවයෙන් කල් ගෙවීමට එකම රහස එම ආහාර රටාව සහ නිකරුණේ කාලය ගත නොකර තම ගෙවත්තේ වැඩපළෙහි යෙදීමයි.
ඇය අවුරුදු 99 වියේ පසු වුවද තම ගෙවත්තේ තේ ඉඩමේ තේ දලු නෙළීමේ කාර්යයෙහි නිරතවන බවත් එය සිය නිරෝගී දිවි ගමනට පිටිවහලක් වී ඇති බවත් දූ දරුවන්ගේ මුණුපුරු මිණිබිරියන්ගේ සෙනෙහස ලබමින් ඉතා වාසනාවන්තව ජීවිතය ගත කරන බවද තවලම ගමගේ ලීලාවතී මහත්මිය අප සමග පැවැසුවාය.