BREAKING NEWS
latest

728x90

468x60

කෝපායි ප්‍රහාරයට සම්බන්ධ 'ආවා' ලොක්‌කා ඇතුළු කල්ලියේ 6ක්‌ අත්අඩංගුවට

යාපනය, කෝපායිහිදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට පහරදී කපාකොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ 'ආවා' කල්ලියේ වර්තමාන නායකයා බව කියන වික්‌ටර් නිශා ඇතුළු එම කල්ලියේ ප්‍රබලම සාමාජිකයන් හයදෙනකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය මඟින් ඊයේ (07 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම 'ආවා' කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පිටකොටුව හා මට්‌ටක්‌කුලිය යන ප්‍රදේශවල සැඟවී සිටියදීය.

මෙම සැකකරුවන් පොලිස්‌ නිලධාරීන් කපාකොටා තුවාල කිරීමට යොදාගත් කඩු 5 ක්‌ සහ එම ප්‍රහාරය සඳහා පැමිණි යතුරුපැදි තුනක්‌ ද ත්‍රස්‌ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්‌ෂණය යටතේ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් ක්‍රියාත්මක කළ විශේෂ බුද්ධි මෙහෙයුමකදී මෙම සැකකරුවන් කොටුවී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ ප්‍රබලයන් අතර 'විනෝද්' නොහොත් ජනෝද් පෝල්, මනෝ- යන සැකකරුවන් ද සිටින බව පොලිසිය පවසයි.

මෙම ආවා කල්ලි සාමාජිකයන් රටින් පලායැමේ අරමුණින් කොළඹ නගරයේ සැඟවී සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් හයදෙනා අවුරුදු 18 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ආවා නායකයා ඇතුළු කල්ලියේ සාමාජිකයන් හයදෙනා යාපනය අර්ධද්වීපයේ මීට පෙර සිදුවූ තවත් අපරාධ ගණනාවකටම සම්බන්ධ බව විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම අපරාධකරුවන් යාපනය නගරයේ ජනතාවට මෙන්ම ආරක්‌ෂක අංශවලට ද හිසරදයක්‌ වී සිටි බව පොලිසිය පවසයි.

වික්‌ටර් ඇතුළු 'ආවා' කල්ලිය මෙහෙයවා ඇත්තේ ස්‌විට්‌සර්ලන්තයට පලාගොස්‌ සිටින 'ආවා' කල්ලියේ හිටපු නායකයකු බව කියන 'සන්කා' නමැත්තා විසින් බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ආවා කල්ලියේ සාමාජිකයන්ට යාපනයේ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන්නේ 'සන්කා' නමැත්තා විසින් බවත්, තුන්වැනි පාර්ශ්වයක්‌ විසින් ඔහු මෙහෙයවන බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

'සන්කා' නමැත්තා මෙහෙයවන තුන්වැනි පාර්ශ්වය කවුදැයි මෙතෙක්‌ අනාවරණය වී නැත.

මෙම පාතාල කල්ලිය කෝපායිහිදී පොලිස්‌ නිලධාරීන් කපාකොටා තුවාල කිරීමට යොදාගත් කඩු පහ සොයාගෙන ඇත්තේ එම ප්‍රදේශයේම නිවසක සඟවා තිබියදීය. සොයාගත් කඩු කීපයක රුධිරය තැවරී තිබෙන අතර ඒවා තුවාල ලැබූ පොලිස්‌ නිලධාරීන්ගේ බවට සැක කෙරේ.

එම ආවා කල්ලි සාමාජිකයන් ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර පසුව ඔවුන් යාපනය මූලස්‌ථාන පොලිසියට භාරදීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතා විසින් මෙම පරීක්‌ෂණ මෙහෙයවනු ලබයි.

කෝපායිහි සිදුවූ මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් ආවා කල්ලි සාමාජිකයන් සිවුදෙනකු මීට ඉහතදී යාපනය පොලිසිය සහ ත්‍රස්‌ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුහු මේ වන විට බන්ධනාගාර ගතකර සිටිති.
« PREV
NEXT »

Facebook Comments APPID