BREAKING NEWS
latest

728x90

468x60

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ගුවන් අනතුරක් වළක්වයි

සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.

යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි.

මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර යානයේ කුටි කළමනාකරු සහ කැප්ටන්ට ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ. ඒ සමග ක්‍රියාත්මක වූ නිලධාරීහු ලිතියම් ගිනි නිවන උපකරණ මගින් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළහ. පසුව කළ ගවේෂණවලදී යානයේ කාර්ය මණ්ඩලය විසින් එම බෑගයේ තිබී ලිතියම් බැටරි ඇසුරුමක් හා ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබීය.

ඒ සමග යානයේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට දන්වා සිටියේ යානයේ අනතුරුදායක භාණ්ඩ ඇති බවත් ඒ සඳහා විශේෂඥ ආරක්ෂකයන්ට සූදානම්ව සිටින ලෙසත් ය.

මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID