BREAKING NEWS
latest

728x90

468x60

අනුරපුර මුල්‍ය සමාගමකින් කෝටි 7 ක රන් බඩු ඉස්‌සූ කෝටිපති ව්‍යාපාරිකයා රිමාන්ඩ්

අනුරාධපුර නව නගරයේ පිහිටි ප්‍රසිද්ධ මුල්‍ය සමාගමක සේප්පුවක බහා තිබූ රුපියල් කෝටි හතක්‌ පමණ වටිනා රන් ආභරණ කිලෝග්‍රෑම් 11.5 ක ප්‍රමාණයක්‌ සොරකම් කිරීමේ සිද්ධියට Rජුවම සම්බන්ධ බව කියමින් කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ ව්‍යාපාර සමූහයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා තවදුරටත් මේ මස (29) වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා පෙරේදා (15 දා) නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ රළපනාව නොච්චියාගම ලිපිනයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන සමන් හේවා කණ්‌ඩම්බි මහතායි. පසුගිය (11 දා) සැකකරු මුල්ම වතාවට අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිය මගින් සැකකාර ව්‍යාපාරිකයා අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර වැඩිදුර වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය කියා සිටියේ සොරකම සම්බන්ධයෙන් කරන විමර්ශන තවමත් අවසන් වී නැති බවයි.

මීට පෙර මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුන්වැනි සැකකරු ලබාදී තිබෙන ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බවත් සැකකරු ඔහුට රුපියල් ලක්‍ෂ 16 ක මුදලක්‌ චෙක්‌පතකින් ලබාදී තිබෙන බවත් සමූහ මංකොල්ල ඒකකය ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයාට දැන්වීය.

සැකකරු මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ දුරකථන තුනකින් සබඳතා පවත්වා ඇති බවත් එම දුරකථන වලින් එකක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබෙන බවත් තවත් දුරකථන දෙකක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුවන බවත් සමූහ මංකොල්ල ඒකකය වැඩිදුරටත් අධිකරණයට දැන් වූවේය.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වූ ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා කියා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුන්වැනි සැකකරුගේ ප්‍රකාශ මත සැකකරුව අත්අඩංගුවට ගත් බව කියමින් විටින් විට විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. මෙම ව්‍යාපාරිකයා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ නම් දරා සිටින කෝටිපති ව්‍යාපාරිකයකු බවත් ඔහුට සොරකම් සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය නැති බව නීතිඥවරයා අධිකරණයට සැලකර සිටියේය.

මෙම සොරකමට අයත් කෝටි හතක රන් ආභරණ අතරින් කිසිදු රන් ආභරණයක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්‌ සොයා ගැනීමට සමත් වී නැති බවත් දැනට අසනීප තත්ත්වයෙන් සිටින සැකකාර ව්‍යාපාරිකයා ඕනෑම ඇප කොන්දේසියක්‌ මත මුදාහරින්නැයි ජනාධිපති නීතිඥවරයා ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් අයෑද සිටියහ.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු මේ මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර සැකකරුට ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර අධිකාරිය මගින් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක රාජකරුණා, පොලිස්‌ සැරයන්වරුන් වන (14209) මෙන්ඩිස්‌, (35021) කන්නංගර යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන රංජිත් රාජකරුණා, කාලිංග රවින්ද්‍ර, ඉදුනිල් හෙට්‌ටිආරච්චි රෝහණ ප්‍රේමලාල් මහත්වරු ඇතුළු නීතිඥ නීතිඥවරියන් නවදෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.



« PREV
NEXT »

Facebook Comments APPID