BREAKING NEWS
latest

728x90

468x60

කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීමෙන් දුවූ මාරක රිය අනතුර

කරත්තයක බැඳිය යුතු මී හරකෙකුට රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදීම නිසා සිදුවූ මාරක රිය අනතුරක්‌ ගැන පුවතක්‌ ඊයේ (15 දා) සියලුම පුවත්පත් වාර්තා කර තිබිණි. සිද්ධිය මෙසේය. අවිස්‌සාවේල්ල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණියේදී පසුගිය 13 වැනිදා පෞද්ගලික බස්‌ රථයක්‌ මහමග ගිය කුඩා දැරියන් දෙදෙනෙක්‌ද තවත් මහලු කාන්තාවක්‌ද යටකරගෙන ගොස්‌ තිබේ. එක්‌ දැරියක එතැනම මියගොස්‌ ඇත්තේ අදාළ බස්‌ රියේ රෝදයක්‌ ඇයගේ හිස මතින් ධාවනය වූ නිසාය. අනෙක්‌ දෙදෙනාද බරපතළ තත්ත්වයෙනි. මහ පාරේ ධාවනය වන සමහර පෞද්ගලික බස්‌ රථවල "ක්‍රමය" දැක ඇති කෙනෙකුට මෙවැනි අමන රියෑදුරන් ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මේ අනතුර සිදුකළ මාර පුත්‍රයා බස්‌ රථයක්‌ නොව පාපැදියක්‌ ධාවනය කරන්නට හෝ සුදුසු නැති පුද්ගලයකු බව අපේ හැඟීමය.

 එවැන්නෙකු සුදුසු වන්නේම නාසය විද ලණු බැඳ කරත්ත ධාවනය පිණිසය. එතැනදීත් වූ කුලප්පු වුණොත් පාරේ යන එන අයට දෙවියන්ගේ පිහිටය. වාර්තා වන පරිදි මේ වසවර්තියා බස්‌ රිය ධාවනය කර ඇත්තේ නොගැලපෙන ආකාරයටය. බස්‌ රථයේ නරක ගමන් විලාශය ජංගම දුරකථනයකින් රූගත කළ අයෙක්‌ එය පොලිසිය වෙත ලබාදී ඇති බවද කියති. ඇත්තෙන්ම කීවොත් මහා මාර්ගයේ ගමන්කරන සියලු පුරවැසියන් මේ ආකාරයට රූගත කිරීම් පටන් ගත්තොත් දිනක්‌ ඇතුළත නොමනා රිය පැදවීම් රාශියක්‌ දකින්නට හැකි වනු ඇත. 

බොහෝ පෞද්ගලික බස්‌ රියෑදුරන්, ත්‍රිරෝද රථ රියෑදුරන් මෙන්ම යතුරුපැදිකරුවන්ගේද මාර්ග විනය අන්තිම නරකය. කොටින්ම කීවොත් බොහෝ දුරගමන් සේවා බස්‌ රථ මංතීරු නීති සලකන්නේ නැත. මාර්ග සංඥ තුට්‌ටුවකට ගණන් ගන්නේද නැත. ඉදිරියෙන් යන රථ කාණුවකට ගෙන හෝ එම බස්‌ රථවලට ඉඩ දිය යුතුය. කතාවට කියන්නේ "හෙඩ් ලයිට්‌" (ප්‍රධාන ලාම්පු) සහ "හෝන්" එක නොමැතිව එම බස්‌ රථ රියෑදුරන්ට රිය ධාවනය කළ නොහැකි බවය. අනෙකාට පීඩනයක්‌ ඇතිවන පරිදි නලාව නාද කිරීමත්, පහන් දැල්වීමත් විනයගරුක රියෑදුරුවරයෙකුට නොගැළපෙන පුරුදු අතර වේ. මෙවැනි අවිනීත රියෑදුරන් නිසා 2016, 2017 වර්ෂයන්හි සිදුවූ අනතුරු සංඛ්‍යාව අපි වරින්වර සටහන් කර ඇත්තෙමු. රටේ මාර්ග පද්ධතිය තුළ සෑම විනාඩි 15 කට වරක්‌ම රිය අනතුරක්‌ සිදුවේ. සෑම විනාඩි අනූවකට වරක්‌ම බරපතළ රිය අනතුරක්‌ සිදුවේ. සංඛ්‍යා ලේඛනවලට අනුව සෑම පැය තුනකට වරක්‌ම වාහනයකට යටවී පුද්ගලයෙක්‌ මිය යන්නේය. එමෙන්ම සෑම දිනකම පුද්ගලයන් 7-8 ක්‌ අතර ප්‍රමාණයක්‌ මහ මග මියදෙන්නේය. 

ඒවා ස්‌වාභාවික මරණ නොව මාරක රිය අනතුරුවලින් සිදුවන මරණය. මහ මග අනතුරු වළක්‌වා මාර්ග විනය රැකීම උදෙසා රජය නීති රීතී ගෙන එනවිට දඬුවම් වැඩි කිරීමට පියවර ගන්නා විට ඊට එරෙහිව විරෝධතාවල යෙදෙන අය මෙවැනි සිදුවීමකදී රටේ නීතිය ගැන කතා කරන ආකාරය අහන්නවත් අප්‍රියය. එවැනි මොහොතක ඒ උදවිය ආණ්‌ඩුවට බණින්නේ හරි හැටි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව කියමිනි. අප විශ්වාස කරන්නේ මහා මාර්ගයට පිවිසි පසු ඒ ඒ නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවය. පවතින නීති රීති සංශෝධනය කර හෝ එවැන්නන්ට දැඩි දඬුවම් ලබාදීමේ ක්‍රමයක්‌ ක්‍රියාත්මක විය යුතුය. පිංදෙණියේ සිද්ධිය ඊට පූර්වාදර්ශයක්‌ කරගත යුතුය.
« PREV
NEXT »

Facebook Comments APPID